ජපානයෙන් බිලියන 43.8 ක ණය ආධාරයක්

ජපානයෙන් බිලියන 43.8 ක ණය ආධාරයක්

March 15, 2013   09:43 am

සංවර්ධන ණය ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට යෙන් බිලියන 43.8 ක මුදලක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ.

මෙරට යටිතල පහසුකම් සංවර්ධනය හා ආපදා නිවාරණය සඳහා අදාළ මුදල් ලබාදීමට නියමිතය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර ඊයේ (14) පස්වරුවේ ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳ එකඟතාව පළව තිබේ.

ජපානයේ දායකත්වයෙන් ඉදිකළ මෙරට පාර්ලිමේන්තු සංකීර්ණයේ නවීකරණ කටයුතු සඳහා ජපන් රජයේ සහය අපේක්ෂා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

දෙරට අතර සමුද්‍රීය සහයෝගීතාව පුළුල් කර ගැනීම සඳහා ද එකඟතාවන්ට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර අන්තර්ජාතිකව ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම් සමනය කිරීම සඳහා සහය දක්වන බව චීනය පවසයි.

මෙරට ආර්ථිකය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා නිරන්තරයෙන්ම චීන රජය සහය පළ කරන බව අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා සමග ඊයේ පැවති හමුවක දී ශ්‍රී ලංකාවේ චීන තානාපති වූ ජියංගාවෝ මහතා ප්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා දෙරට අතර සහයෝගය තවදුරටත් වර්ධනය කර ගත යුතු බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට දී නිෂ්පාදන කර්මාන්ත පවත්වාගෙන යාමට පහසුවී ඇති බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති තෝමස් ලිට්ස්චර් මහතා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවේ ඊයේ ප්‍රකාශ කර ඇත.