දවස් තුනක් තුළ විදුලි හොරු 34 ක්-ලක්ෂ 19 ක ආදායමක්

October 3, 2012   05:20 pm

ලං.වි.ම හදිසි වැටලීම් අංශ නිලධාරීන් විසින් මේ වසරේ සැප්තැම්බර් මස 22,23 සහ 24 යන තෙදින තුළ දියතලාව ප්‍රදේශයේ සිදුකළ වැටලීම් තුළින් රු.1,930,240.00 ක ආදායමක් ලබා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එම මුදලින් රු.365,000.00 ක් උසාවි දඩ වශයෙන්ද, රු.1,565,240.00 විදුලිබල මණ්ඩලයේ අලාභය ලෙසද ගණන් බලා ඇති බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව මීටර් වෙනස් කිරීම්, කොකු භාවිතාකර විදුලිය ලබාගැනීම් වැනි අයථා විදුලි පරිහරණයන් පිළිබඳ සිද්ධීන් 34 ක් වාර්තා වී ඇති බවත්, ඒ අතරින් සිද්ධීන් 20 ක් වංචා සහගත ලෙස මීටර් සැකසීම තුළින් විදුලිය ලබාගැනීම් වන බවත්, ඉතිරි සිද්ධීන් 14 කොකු යොදා අයථා ලෙස විදුලිය ලබාගැනීම් ලෙස හදුනාගෙන ඇති බවත් අමාත්‍යංශය කියා සිටියි.

වැසි රහිත කාලගුණික තත්ත්වයක් හමුවේ දැඩි අර්බුදයකට මුහුණදී සිටින විදුලිබල ක්ෂේත්‍රය යම් ස්ථාවරත්වයකින් පවත්වාගෙන යාමටත්, විදුලි පාරිභෝගිකයාට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමටත් විෂයබාර අමාත්‍යවරයා ප්‍රමුඛ ලංකා විදුලිබල මණ්ඩලය ගන්නාවූ සියලු ප්‍රයත්නයන් මෙවැනි වංචාකාරී ක්‍රියා තුළින් ව්‍යර්ථ වන බවත්, ඒ තුළින් අපහසුතාවන්ට මුහුණදීමට සිදුවන්නේද විදුලි පාරිභෝගික ජනතාවටම බවත් විදුලිබල හා බලශක්ති අමත්‍යාංශය අවධාරණය කරයි.

මෙලෙස විදුලි මීටර් වංචනික ලෙස සකස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි ක්‍රියාවන් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විශාල මූල්‍ය අලාභයක් සිදුවන බව අවධාරණය කරන විදුලිබල අමාත්‍යාංශය, වංචාකාරී පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරදීමට සහයෝගය දක්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එවැනි යම් වංචාකාරී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව දුරකතන අංක 2422259 ඔස්සේ ලං.වි.ම. විමර්ශන අංශය දැනුවත් කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙසේ නීතිය ඉදිරියේ වරදකරුවන් වන අයට පමුණුවන ලබන මූල්‍යමය සහ අනෙකුත් දඬුවම් වලට අමතරව ඔවුන්ගේ විදුලි සබඳතා නැවත ලබාගත නොහැකි අයුරින් විසන්ධි කිරීමද ක්‍රියාත්මක වන බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.