BlackFly : පියාඹන රථ කරා යන අලුත්ම උත්සාහය

පියාඹන රථය

ඡායාරූප මූලාශ්‍රය, OPENER

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්ලැක් ෆ්ලයි රථය

පැදවීමට නියමු බලපත්‍රයක් අවශ්‍ය නොවන පියාඹන රථයක් කැලිෆෝර්නියාවේදී එළි දක්වා තිබේ.

බ්ලැක් ෆ්ලයි (BlackFly) ලෙස හඳුන්වා ඇති එම රිය පැයට සැතපුම් 62 ක වේගයකින් සැතපුම් 25 (කිමී 40) ක දුරක් යා හැක.

සාමාන්‍ය ස්පෝට්ස් මෝටර් රියක (SUV) මට්ටමට එය මිල වනු ඇති නමුත් මුල් අවදියේ මාදිලි මිල අධික විය හැකි බව එහි නිර්මාපකයෝ පවසති.

එම රථය නිපැයූ සමාගමට මුල්‍ය ප්‍රතිපාදන සපයනු ලබන්නේ ගූගල් සම-නිර්මාතෘ ලැරී පේජ් විසිනි.

ලස් වේගස් හි පුද්ගලික ගුවන් යානයක් අත්හදා බලමින් සිටින තවත් ඇමෙරිකානු නව්‍ය සමාගමක් වන කිටී හෝක් පසුපස සිටින්නේ ද ලැරී පේජ් ය.

මෙවැනි තවත් තරගකාරී පියාඹන මෝටර් රථ ලොවපුරා නිර්මාණය වෙමින් පවතී.

බ්ලැක් ෆ්ලයි නිර්මාණය කළේ කැලිෆෝර්නියා හි පෑලෝ ඇල්ටෝ ප්‍රදේශයේ පිහිටි ඕපනර් (Opener) නම් සමාගමකි. එය කැනඩාවේ දී අත්හදා බැලූ අතර එරට ගුවන්සේවා අධිකාරිය එය භාවිතයට අනුමැතිය පළකර ඇත.

කිටී හෝක් මෙන් බ්ලැක් ෆ්ලයි ද මිනිසුන් ගෙන යන ඩ්‍රෝන ලෙස ඇතැම් විට ඉතා නිවැරදිව පෙන්වා දිය හැකිය. එය මාර්ගයේ පැදයාම සඳහා නිර්මාණය නොවූවකි.

එක් පුද්ගලයෙකු පමණක් ගෙන යා හැකි මෙම රිය "පියාපත් දෙකක ඇති අවරපෙති පද්ධති අටකින්" බල ගැන්වේ.

ගුවන්ගත කිරීමේදී මෙන්ම එවැනි තැනකට ගොඩබෑමේදී එය ඉතා කාර්යක්ෂම බව Opener සමගම පැවසීය.

මේ තොරතුරු ද දැනගන්න:

වීඩියෝ ශීර්ෂ වැකිය, ඩ්‍රෝන ටැක්සි

'පූර්ණ පාලනය'

"බ්ලැක් ෆ්ලයි ගුවන්ගත වෙන හැටි දැකීමෙන් මම වික්ෂිප්ත වුණා" යැයි කී එක්සත් ජනපද පරීක්ෂණ ගුවන් යානා සංගමයේ අධ්‍යක්ෂ ඩෑන් ප්ලීසන්ස්, "මේ වගේ කිසිදෙයක් මා දැක නැහැ" යනුවෙන් සඳහන් කළේය.

මේ සඳහා නියමු බලපත්‍ර අවශ්‍ය නොවුව ද සමාගම පෙන්වා දෙන්නේ ඒ සඳහා හුරුවක් ඇතිකර ගැනීම සඳහා, එය පදවන්නන් පුහුණු වැඩසටහනකට යොමු විය යුතු බවය.

Opener ප්‍රධාන විධායක නිලධාරී මාකස් ලෙන්ග් පවසන පරිදි රියෙනි ඇති පාලක "වහා ප්‍රමෝදය" ගෙන දෙයි.

සීබීඑන් (CBN) ප්‍රවෘත්ති සේවයට කියා සිටියේ "ත්‍රිමානඅවකාශයේ පූර්ණ පාලනය ඔබ සතුවනවා" යනුවෙනි.

'කඩා වැටෙයි ද? - සමහරවිට..!'

පියාඹන රථ පිළිබඳ විද්‍යා ප්‍රබන්ධ සිහිනය හඹා යන සමාගම් පිළිබඳ දිගු ලැයිස්තුවට Opener ද එක්වී සිටින අතර ඩ්‍රෝන හැකියාවේ සීඝ්‍ර වර්ධනයට ස්තුතිවන්නට වෙන කවරදාටත් වඩා අනාගතය වඩා සමීප වන බවක් පෙනේ.

'මාර්ග තදබදයෙන් මිදුණු' ලොවක් ගැන කිටී හෝක් සපථ කර ඇත

ඡායාරූප මූලාශ්‍රය, KITTY HAWK

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මාර්ග තදබදයෙන් මිදුණු' ලොවක් ගැන කිටී හෝක් සපථ කර ඇත

බ්ලැක් ෆ්ලයි සහ කිටී හෝක් මෙන් ඌබර් වැනි සමාගම් ද, පියාඹන රිය වෙළෙඳපොළක් වේ නම් ඊට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවෙති.

උතුරු කැරොලයිනා හි පිහිටි හිලර් ගුවන්ගමන් කෞතුකාගාරය, පියාඹන රිය නිර්මාණය කිරීමේදී අසාර්ථකවූ ඒවා ගොඩ ගැසූ සුසානයක් මෙනි.

SUV රථයක මිල වැනි වනු ඇතැයි නිර්මාපකයෝ පවසති

ඡායාරූප මූලාශ්‍රය, OPENER

ඡායාරූප ශීර්ෂ වැකිය, SUV රථයක මිල වැනි වනු ඇතැයි නිර්මාපකයෝ පවසති

නමුත්, ගුවන්සේවා අධිකාරීන්ගෙන් ඉඩක් ලැබෙන්නේ නම් මේ අලුත් නිපැයුම් ගොන්න කිසියම් සාර්ථකත්වයක් පෙන්වන බව කෞතුකාගාරයේ මෙහෙයුම් ප්‍රධානී විලී ටර්නර් පැවසීය.

"දැන් අපට තාක්ෂණය තිබෙනවා" ඔහු කීය.

"නමුත් රෙගුලාසිවලින් කියන්නේ 'මේක බැහැ, අරක කරන්න බැහැ'. එයාලට ඒක තේරෙන්නේ නැහැ" යැයි සඳහන් කරන ඔහු, "දැන් මේවා කඩා වැටෙයි ද? සමහරවිට, ඒත් කාර් හැමදාම හැප්පෙනවා" යනුවෙන් ප්‍රකාශ කළේය.