මා මිත්‍ර සාරා අරුමුගම් දිනක් ඇසුවේ, ඇයි, ඔබගේ ලිවීම් මගින් දෙමළ මිනිසුන්ගේ සමාජයේ සාමාන්‍ය චර්යාව තුළ වන දේවල් වෙනුවෙන් වැදගත් කමක් ලබාදීමට උත්සහා කරන්නේ? මාගේ පිළිතුර වුයේ, සාමාන්‍ය චර්යාව සහ අනෙක් කුඩා සිදුවිමුත් ඉතා වැදගත් හෙයිනි. සරා, අරුණි, සහ බහුතර ශ්‍රී ලාංකිකයන් ද මහා පොදු යහපත වෙනුවෙන් ඉතා කුඩා දෑ අමතක කර නොසලකා හරි. එහෙත් යුක්තිය පිළිබද වන අරගලයේදී, එසේ නොකළ යුතු බව අරුන්දතී රෝයි (Arundhati Roy), The Algebra of Infinite Justice (2002) හි පෙන්වා දෙයි. Roy ගේ වචනයෙන් ම කියන්නේ නම්, “ප්‍රේම කරන්න. ප්‍රේමය ලබන්න. ඔබේ වැදගැම්මකට නොමැති දෑ කිසි දිනක අමතක නොකරන්න. ඔබේ වටා වන ජීවිතය තුල ඇති ප්‍රචණ්ඩත්වය අශ්ශීල අසමානතාවන් දුටු විට නිහඩ නොවන්න” (Roy,2002, පිටුව.xxiv). Roy, විසින්, මහා පරිමාණ වේලි බැද සිදුකරණ සංවර්ධන ව්‍යපෘති හේතුවෙන් අවතැන් ව අඩාල වන ජනතාව ගේ ජන ජීවිතය ලොවට නිරාවරණ කරණ ලදී. Roy ම පවසන ආකාරයට, එකී මිනිසුන්ගේ ජිවිත දුක, ප්‍රකට කිරීම ඇය ජාති, දේශ සහ අනෙක් සියලු ආකාර ද්‍රෝහී කමක් වූ අතර, ඇය ඩොලර් මත යැපෙන පරපුටුවෙක් ලෙස හැදින්විණි. යම් ප්‍රභූ කණ්ඩායමක් ගනු ලබන අඥාන තීරණ, නිර්ප්‍රභූ කණ්ඩායමක් අවතැන් කර, ඔවුන්ගේ දෛනික ජිවිත සම්පුර්ණයෙන් ම විනාශ කිරීම වාර්තා කිරීම, මෙරටදී, NGO ව්‍යාපෘතියක් වනවා පමණක් නොව, වාර්තාකරනු ලබන්නාට ජිවිතයෙන් වන්දි ගෙවීමට ද සිදු වනු ඇත. එය, තවත් නිර්ප්‍රභූ කණ්ඩායමක්ම සධාරණය කරණු ඇත.

ශ්‍රී ලංකාවේ, මෑත අවධිය තුල, මහා පොදු යහපත වෙනුවෙන් නිර්ප්‍රභූ ජන ජීවිතය බිලිදීම මැදහත් සිතින් බොහෝ දෙනා ඉවසා සිටියෝය. උමා ඔය ව්‍යාපෘතිය ඒ සදහා එක් උදාහරණයකි. 2014 මුල් කාර්තුවේදී, ANDRITZ HYDRO සහ FARASAN INTERNATIONAL SDN BHD සමග ගිවිසුම්ගත වෙමින්, එවකට පැවති රජය, මහා පොදු යහපත වන, විදුලිය නිපදවීම සහ ශුෂ්ක ප්‍රදේශ වෙත ජලය ලබා දීමේ අරමුණින් උමා ඔය ව්‍යපෘතිය අරඹුණි (http://www.andritz.com/hydro/hydronews/hy-hydro-news-26/hy-26-14-uma-oya.htm). එවකට බලයේ වූ ජනාධිපතිවරයාට උමා ඔය තවත් එක් මහා සංවර්ධන ව්‍යාපෘතියක් පමණි. එහෙත් එය, උමා ඔය, ආශ්‍රිත ජනයාගේ සම්පුර්ණ ජිවිතයම වෙනස් කිරීම සදහා බලපාන කාරණාවකි. අද සිරිසේන- වික්‍රමසිංහ ආණ්ඩුව උමා ඔය සංවර්ධන යෝජනාවේ බලපෑම් පර්යේශණ කිරීම වෙනුවෙන් අලුතෙන්ම කමිටු පත් කරමින්, මන්දගාමී ව ක්‍රියාත්මක වීම නිරුපණය කරනුයේ, උමා ඔය ජනයාගේ ජිවිත තම ආණ්ඩුවට එතරම් වැදගත් නොවන බවත්, ඔවුන් පණ පිටින් පස් කදු තුළ මිහිදන් වුවත් එය තමාට අදාළ නොවන බවත්ය. වැදගත් වන්නේ, ප්‍රදර්ශනාත්මකව මහා පොදු යහපත වෙනුවෙන්, වර්තමාන ජාතික ආණ්ඩුව පෙනී සිටින බව, තෝරාගත් දේශය සහ විදේශීය කණ්ඩයාම් වෙත පෙන්වා දීමය.

ජාතික ආණ්ඩුවේ මෙකී ප්‍රභූ න්‍යාය ක්‍රියාත්මක කිරීම උදෙසා දේශීයව බලවත්ව සිටින ප්‍රජාවගේ සහයෝගය හිමි වී ඇත. එවැනි එක් කණ්ඩයක් වන්නේ අස්ගිරි සහ මල්වත්ත ලෙස දේශීය සිංහල බෞද්ධ ධර්මයේ නියෝජිතයන්ය. එකී නියෝජිතයන් පොදු අවකාශය තුළ පවසන්නේ, තමන්, සාමාන්‍ය ජනයාට වඩා උසස් වන අතර, තමාට ගරු කර ආමන්ත්‍රය කරණ ලෙසය.

අනෙකාට ගරු කිරීම ශිෂ්ටාචාරගත ජනතාවගේ ලක්ෂණයකි. ගරු කිරීම සිදුවිය යුත්තේ පුද්ගල ශ්‍රේෂ්ඨතත්වය හේතුවෙන් නොවේ. එය මානව විවිධත්වය ඉවසා සිටීමකි. නමුත් ශ්‍රී ලංකාව තුළ සිදුව ඇත්තේ සහ සිදු වන්නේ ජනවාර්ගිකව බහුතරය වන කණ්ඩායම වෙත ගරු කිරීමට බලහත්කරයෙන් කියා සිටීමය. මෙවැනි ප්‍රකාශනයක් සිදු කළ සිංහල බෞද්ධ නියෝජිතයන්ගේ සැනසීම සදහා වර්තමාන ජාතික ආණ්ඩුවේ නියෝජිතයන් විසින් වහ වහා පියවර ගන්නා ලදී. මක් නිසාද යත්, මෙකි ප්‍රභූ කණ්ඩායම් හි හැසිරීම්, තම මැතිවරණ ප්‍රතිපල වෙනුවෙන් බලපෑම් කරණ හෙයිනි. එහිදී, තම ආණ්ඩුව වගකිව යුතු නිර්-ප්‍රභූ අවශ්‍යතාවන් නොසලකා හැර ඇත. උදාහරණ ලෙස, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන වෙත වූ ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්ව හිංසනයන් ආණ්ඩුව සම්පුර්ණයෙන්ම නොසලකා හැර ඇත. අනෙක් උදාහරණය නම්, අධ්‍යපන ප්‍රතිපත්ති පිළිබද තම විසම්මුතිය ප්‍රසිද්ධ කළ විශ්ව විද්‍යාල ශිෂ්‍ය – ශිෂ්‍යාවන් ප්‍රචණ්ඩකාරීව මර්ධනය කිරීමය.

ආණ්ඩුවේ කාණ්ඩයක් විසින් තීරණය කළ යහපත වෙනුවෙන් පරපිඩක ලෙස ශිෂ්‍ය ප්‍රජාව මර්ධනය කිරීම නොවැදගත් කරුණක් ලෙස නොසලකා හැරිය නොහැක. පරපීඩනය මුදා හැරීමේ ආයතන ලෙස ආණ්ඩුව විසින් පොලිසිය, හමුදාව සහ මාධ්‍යට අමතරව විවිධ ප්‍රතිපත්ති ද යොදා ගනු ලබයි. හමුදාව වෙත බාර දුන් පසු අතුරුදහන් වූ තම දරුවන් සොයන දෙමාපියන්ගේ ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම ආණ්ඩුව විසින් සම්පුර්ණයෙන්ම නොසලකා හැර ඇත. ආණ්ඩුව, අතුරුදහන් වූවන් වෙනුවෙන් කාර්යාලයක් විවෘත කිරීමට යෝජිත පණත තව දුරටත් ක්‍රියාත්මක නොකර සිටිනුයේ, අතුරුදහන්ව ඇත්තේ, තම ආණ්ඩුවේ නියෝජිතයන්ගේ දරුවන් නොවන හෙයිනි. තමන්ගේ දරුවන් අතුරුදහන් නොවන තෙක්, අතුරුදහන්වූවන්ගේ ගැටලුව විසදීම ආණ්ඩුවට අත්‍යවශ්‍යයෙන්ම ක්‍රියාත්මක විය යුතු කරුණක් නොවේ. එසේම අතුරුදහන්වීම් සිදුවන්නේ, මහා පොදු ජනයාගේ ආරක්ෂාවට සහ සුභ සාධනය උදෙසා බාධාකාරී වූ ත්‍රස්තවාදී සංවිධානයක් අවසන් කිරීමේ මානුෂිය මෙහෙයුමක් තුළ දී යැයි පිළිගනු ලබන ආණ්ඩුවක් කිසි දිනක, අතුරුදහන් කිරීම් වැනි කරුණු අමානුෂීය සහ ඉතා ඉක්මනින් විසදිය යුතු ගැටළු ලෙස භාර නොගනී.

මහා පොදු යහපත වෙනුවෙන් යුක්තිය බිලි දීමට නොහැකිය. මක් නිසාද යත්, මහා පොදු යහපත, ශ්‍රී ලංකාව තුළ තීරණය කරනු ලබන්නේ, එක් කණ්ඩයක් විසිනි. එහිදී එම කණ්ඩායම, තම දේශපාලනික අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරනවා මිස, සමාජ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක නොවේ. අනෙක් කරුණ නම් පොදු යහපත පෙරමුණට ගෙන තම යහපත ඉටු කර ගැනීමට මෙකි කණ්ඩායම් කටයුතු කිරීමය. මේ සදහා වන එක් සාක්ෂියක් නම්, පේරාදෙණිය-ශ්‍රී සුබෝධාරාම විහාරය සහ එහි විහාරාධිපති සහ දායක සභාවේ ක්‍රියාකාරකම්ය. සුබෝධාරාමයේ විහාරාධිපතිවරයා සහ දායකසභාව එක්ව, බුද්ධගයාව, එකී විහාරස්ථානය තුළ ප්‍රති නිර්මාණය කරයි. ඒ වෙනුවෙන්, ශ්‍රමිකයන් ඉන්දියාවෙන් ගෙන්වාගෙන ඇත. බුද්ධගයාව නිර්මාණයේදී වන පිරිවැය දැරීම වෙනුවෙන් දායක සභාව, ලක්ෂ 05ක් පරිත්‍යාග කිරීමටත්, තවත් ලක්ෂ 15ක් ණයට ලබාදීමටත් පසුගිය සභා රැස්වීමේදී එකඟ වී ඇත. දායක සභාවේ තීරණ ගන්නා පුද්ගලයන් හෝ විහාරාධිපති වරයා මෙකි මුදල් පාරම්පරික උරුමයන්ගෙන් හෝ පෞද්ගලික බූදලයෙන් කරණ පරිත්‍යාග නොව, දෛනික ජීවිතය තුළ තම ශ්‍රමය විකුණා ගත් ස්ත්‍රීන් සහ පුරුෂයන්ගේ දායක සභා සමාජික මුදල්, කිසිදු ආත්මීය වටිනාකමක් නොමැති, ගඩොලින් සාදන ස්ථානයක් වෙනුවෙන් වැය කිරීම ඉතාම අයහපත්, අශෝබන සහ නිර්ලජ්ජිත ක්‍රියාවකි. මෙකි විහාරාධිපතිවරයා වෙත, විජේතුංග ජනාධිපති අවධියේදී, පේරාදෙණිය ගන්නොරුව පාරේ, රජයට අයත් ඉඩමක්, ධර්ම විජය නමින් වන ව්‍යාපෘතියක් වෙනුවෙන් ලබා දුනි. එම ව්‍යපෘතියට අනුව, එකී ඉඩමේ පුස්තාකාලයක්, අත්හැරදමන ලද දරුවන් වෙනුවෙන් පිහිටාධාර නිවසක් සහ වෙනත් සමාජ සුභසාධනීය කර්තව්‍යන් සදහා යොදාගැනීමට යෝජිත විය. ධර්ම විජය පුස්තකාලය, යම් කාලයක් ක්‍රියාත්මකව පැවතිය ද අනෙක් කිසිදු පොරොන්දු වූ ආයතන මෙහි ස්ථාපිත නොවිය. එහෙත් විහාරධිපතිවරයා, එම ඉඩමේ කඩ කාමර ඉදිකර ව්‍යාපාරික ප්‍රජාව වෙත බදු ක්‍රමය යටතේ ලබා දී මුදල් උපයමින් සිටි. මහා පොදු යහපත වෙනුවෙන් රජය විසින් ඉඩමක්, ආගමික සථානයක් වෙත වෙන් කර දුන් පසු, එය තම පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් යොදාගැනීම ශිෂ්ඨසම්පන්න ආගමික නියෝජිතයකුට සිදු කළ හැකිද? එවැනි ආගමික නියෝජිතයන් වෙත ගරු කළ හැකිද?

කෙසේ වෙතත් අස්ගිරිය සහ මල්වත්ත ප්‍රධානින්, මෙවැනි ක්‍රියා, එතරම් වැදගත් ලෙස නොසලකන අතර, ඔවුන් දේපලද සුබෝධාරාම විහාරධිපතිවරයාගේම තවත් දිගුවක් වෙමින්, දළදා මාලිගාව සතු, රාජකාරි ඉඩම්, විවිධ ව්‍යාපාරිකයන් වෙත බදු දී ආදායම් උපාය ගනී. නිර්මාලා කන්නන්ගර වරක් Sunday Leader පුවත්පතෙන් අනාවරණය කළ පරිදි, නිලංග දෑල වෙත ද මුල්‍ය අක්‍රමිකතා චෝදනා තිබේ. දළදා මාළිගාවේ වත්කම් අපයෝජනය සම්බන්ධයෙන්, නිලංග දෑල, මුල්‍ය අපරාධ විමර්ශන අංශය වෙත කැදවීමට විරුද්ධව ගලගම අත්තදස්සි තෙර තම අප්‍රසාදය ප්‍රකාශ කරයි (http://www.thesundayleader.lk/2015/06/07/robbing-the-buddha-sasana/). තෙරගේ අභිනය සංකේතවත් කරනුයේ සාමුහික වත්කම් අපයෝජනදැයි සැක සහිතය.

අස්ගිරිය සහ මල්වත්ත ඇතුළු සියලුම බෞද්ධගාමික පැවිදි නියෝජිතයන් ජීවිතය රැකගන්නේ, ගිහි අපගේ ශ්‍රම වැගිරීමෙන් උපයන මුල්‍ය පරිත්‍යගයන් ගෙනි. ගිහියන්ගෙන් යැපෙන පාර්ශව ලෙස, ඔවුන් ගිහියන්ගේ පොදු යහපත වෙනුවෙන් අවංකව කටයුතු කළ යුතුය. මා පිළිගන්නා කරුණ නම්, ඔවුන්ද මානව ආශාවන් සහ අවශ්‍යතා සහිත කාණ්ඩයකි. ඔවුන් තම අවශ්‍යතා ගිහි මුල්‍ය අරමුදලෙන් ඉටු කරගැනීම ඉවසා සිටිය හැකි වුවද, ගිහියන් වෙනුවෙන් තීරණ ගැනීමේ අයිතිය සතු කරගැනීමට යාම බරපතල වැරද්දකි. ඔවුන්ට දේශපාලනය කිරීමට අවශ්‍ය නම්, එය තම පෞද්ගලික මතයක් ලෙස එය ප්‍රකාශ කළ හැකිය. නොඑසේනම් එය, මහා පොදු යහපත වෙනුවෙන් වන කැපකිරීමක් ලෙස වැරදි අවබෝධයක් සමාජ ගත කළ යුතු නොවේ.

ශ්‍රී ලංකාවට පසු ගිය කාලය තුළම මග හැරි ගිය කරුණු දෙකකි. එනම්, පොදු යහපත කුමක් දැයි වටහා ගැනීම සහ යුක්තිය බිලි නොදී යහපත වෙනුවෙන් කටයුතු කිරීමය. මෙකි වැරැදී සදහා ප්‍රධාන හේතුව නම්, එක් කණ්ඩායක් පමණක් තීරණ ගැනීම සිදු කිරීමය. එවිට එකී කණ්ඩායම, අනෙකා මත යැපෙමින්, තමා අනෙකාට වඩා උසස් යැයි උපකල්පනය කරනු ලබයි. මෙකි උපකල්පනය ඇරඹෙන සෑම අවස්ථාවකම, විනාශ වී යන්නෙ යුක්තිය යි.


අරුණි සමරකෝන්
| Aruni Samarakoon