ලන්ඩන් නුවරට තවත් ත්‍රස්ත ප්‍රහාරයක්- කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් නෑ

ලන්ඩන් නුවරට තවත් ත්‍රස්ත ප්‍රහාරයක්- කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් නෑ

June 4, 2017   08:23 am


ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 7 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයන් 48 දෙනෙකු තුවාල ලබා ලන්ඩන් නුවර රෝහල් 05ක් වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඊයේ රාත්‍රීයේ ලන්ඩන් පාළම මතදී වේගයෙන් පැමිණි වෑන් රථයක් පදිකයන්  වෙතට කඩාවැදීමට සැලැස්වීමෙන් එක් අනතුරක් සිදුකර තිබේ.

වෑන් රථයේ පැමිණි පුද්ගලයන් පිරිසක් පසුව පොලීසියට සහ සාමාන්‍ය ජනතාවට තියුණු ආයුධ වලින් පහරදී ඇති බව ලන්ඩන් මෙට්රො පොලිටන් පොලීසිය පවසයි.

මේ වනවිට ලන්ඩන් පාළම සහ දුම්රිය ස්ථානය වසා දමා තිබේ.

පාළමට යාබද බොරෝ වෙළඳ සකීර්ණයේදී ද තියුණු ආයුධ වලින් පහරදීමක් සිදුව තිබේ.

මීට අමතරව වොක්ෂෝල් වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමක් සිදුව ඇති අතර එය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව පොලීසිය පවසයි.

පසුගියදා මැන්චෙස්ටර් නුවරට ද ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී පුද්ගලයන් 22 දෙනෙකු ඝාතනයට ලක් වුණි.

මේ අතර ලන්ඩනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අයි.සී.සී චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටළු මතුවී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ද ලන්ඩන් නුවර රැදී සිටින අතර කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට ප්‍රහාරයෙන් අනතුරක් සිදුව නොමැති බව  ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

මේ අතර ආරක්ෂක තොරතුරු වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ.