වෘත්තිය අයිතින් වෙනුවෙන් ජන ජීවිත අත්අඩංගුවට ගන්න බැහැ

වෘත්තිය අයිතින් වෙනුවෙන් ජන ජීවිත අත්අඩංගුවට ගන්න බැහැ

May 2, 2017   05:17 pm

වෘත්තීය අයිතීන් වෙනුවෙන් කිසිවිටකත් ජන ජීවිත අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජාත්‍යන්තර වෙසක් උත්සවය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අද (02) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

වෘත්තිය අයිතින් දිනා ගැනීම හා ජනතාවගේ මුලික අයිතිවාසිකම් යන අංශ දෙකම පිළිබඳ වගකීමක් රජය සතු වන බැවින් කිසි විටකත් දෙකොටියක් වු ජනතාවට සෞඛ්‍ය, ප්‍රවාහනය, විදුලිය හා ජලය නොමැතිව අසරණ වීමට ඉඩ නොතැබිය හැකි බවත් ඒ වෙනුවෙන් සෑම විටම පොදු ජනතාව පිළිබඳ සිතා ජනාධිපතිවරයා කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මේ අතර මැයි දිනය පිළිබඳ මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා රැළි බොහෝමයක් පවත්වා තිබිය දීත් ඡන්දය පරාජය වු බවත් ඉදිරි ඡන්දයකින් ඒ බව නිසිලෙස බලා ගත හැකි බවත්ය.

එමෙන්ම ඉදිරියේ දී පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසු ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයින් හට කැමති දිනයක් ඡන්දය සඳහා යොදා ගන්නා ලෙස දැනුම් දෙනු ඇති බවත් කෙසේ වෙතත් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී පළාත් සභා ඡන්දය ආරම්භ කරන බවත් චම්පික රණවක අමාත්‍යවරයා කියා සිටියේය.