'විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයෝ'

'විද්‍යාව යනු සෑම පුද්ගලයෙකුගේම දෛනික ජීවිතයේ මූලික අංගයක්' බව විද්‍යාඥයෝ පෙන්වා දෙති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

'විද්‍යාව යනු සෑම පුද්ගලයෙකුගේම දෛනික ජීවිතයේ මූලික අංගයක්' බව විද්‍යාඥයෝ පෙන්වා දෙති

අප්‍රේල් 22 වැනිදා සෙනසුරාදා ලෝකය පුරා පන්සීයකට අධික නගර සංඛ්‍යාවක විද්‍යාවට සහය පළ කෙරෙන පාගමන් පැවැත්වුණි.

නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු පාගමන් වලට දහස් ගණනක් ජනතාව සහභාගී වූ අතර 'විද්‍යාත්මක සාක්‍ෂි සහ තොරතුරු වලට එරෙහි දේශපාලනමය ප්‍රහාරයකට' එරෙහිව තමන් පෙළගැසුනු බව බොහෝ විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ.

එම පාගමන් වලට සහභාගී වූ ඇතැම් පිරිස් විද්‍යාගාරවල දී අඳින සුදු පැහැති ලෝගු වලින් සැරසී ගමන් ගනිමින් සිටියේ "අපට අවශ්‍ය සිතන්නට හැකි මිනිසුන් මිස ප්‍රතික්ෂේප කරන්නන් නොවේ" යන අරුත සහිත බැනර් ප්‍රදර්ශනය කරමිනි.

ඇමරිකානු විද්‍යායතන සඳහා දෙනු ලබන දීමනා කපා හැරීම සඳහා වූ ජනාධිපති ට්‍රම්ප්ගේ සැලසුම් වලට ප්‍රතිචාරය පළ කිරීම පිණිස එවැනි විරෝධතා ක්‍රියාමාර්ගයකට යාමට සිදු වූ බව ලෝකය පුරා දියත් කෙරුණ විද්‍යාඥ පාගමන්වල සංවිධායකයෝ පවසති.

'විද්‍යාව යනු සෑම පුද්ගලයෙකුගේම දෛනික ජීවිතයේ මූලික අංගයක් වන අතර එය අඩු තක්සේරුවට ලක් නොකළ යුතු' බව ඔවුහු පෙන්වා දෙති.

වොෂින්ටනයේ පැවති පාගමනකට සහභාගී වූ නිව්යෝර්ක් හි රොක්ෆෙලර් විශ්ව විද්‍යාලයේ ස්නායුවේදය පිලිබඳ මහාචාර්ය එරිච් ජාර්විස් අදහස් දක්වමින් 'ට්‍රම්ප් ගේ සැලසුම මිනිසුන්ට එල්ල කරන ප්‍රහාරයක් ' යයි කියා සිටියේය.

පර්යේෂණයක නිරත විද්‍යාඥයන්
ඡායාරූප ශීර්ෂ වැකිය,

පර්යේෂණයක නිරත විද්‍යාඥයන්

"ඉතිහාසයේ පළමු වතාවට විද්‍යාඥයන්ට පාරට බහින්න සිදුවෙලා තියනව විද්‍යාව වෙනුවෙන්. මහා භයානක දෙයක් සිදුවෙමින් පවතින්නෙ. ලෝකයේ බලගතුම රාජ්‍යය විද්‍යාවට එරෙහිව ප්‍රහාර එල්ල කරනව. සාක්‍ෂි මත යැපෙන තාර්කික චින්ත්නයටයි මේ ප්‍රහාර එල්ල කරන්නේ. මේක විද්‍යාවට විතරක් එල්ල කරන ප්‍රහාරයක් නොවෙයි. මේක මනුෂ්‍ය වර්ගයාට එල්ල කරන ප්‍රහාරයක්" මහාචාර්ය එරිච් ජාර්විස් පවසයි.

තමා කටයුතු කරන විෂයයට අදාළ මූලික අයිතීන් වෙනුවෙන් සටන් කළ යුතු බව මහාචාර්යවරයා සඳහන් කළේය.