චීන-උතුරු කොරියානු ගුවන් ගමන් නවතියි

චීන ගුවන් ගමන් තහංචිය උතුරු කොරියානු ආර්ථිකයට බලපායි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චීන ගුවන් ගමන් තහංචිය උතුරු කොරියානු ආර්ථිකයට බලපායි

ලබන සඳුදා (අප්‍රියෙල් 17) පටන් බේජිං -පියොංග්යෑන් ගුවන් ගමන් අත්හිටවීමට චීන ආණ්ඩුව පියවර ගනිමින් ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය මගින් නිවේදනය කෙරුණි.

එහෙත් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට තුඩුදුන් හේතුව කුමක්ද යන්න එම මාධ්‍ය ප්‍රකාශනයට ඇතුළත් නොවුණි.

කෙසේවුවද, ඊට හේතුව උතුරු කොරියාවේ න්‍යෂ්ටික අභිලාෂයන් කෙරෙහි බලපෑමක් වශයෙන් ඇති කෙරෙන ආර්ථික පීඩනයක් වන බවක් පෙනීයයි.

චීනය පසුගිය පෙබරවාරි මාසයේ පටන් උතුරු කොරියාවෙන් ගල් අඟුරු ආනයනය නතර කර ඇත.

පියොංග්යෑන් පාලනයේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලැබීම පාලනය කිරීමේ පියවරක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවා ඇති අතර චීනයේ ගුවන් ගමන් තහංචියත් ඊට එක්වෙයි.