ජාතික රෝහලේ ජල කුළුණට නගින්න ගිය වෛද්‍ය යුවලක් අල්ලයි

ජාතික රෝහලේ ජල කුළුණට නගින්න ගිය වෛද්‍ය යුවලක් අල්ලයි

April 9, 2017   09:57 am



කොළඹ ජාතික රෝහලේ ජල ටැංකි කුළුණට නැගීමට උත්සාහ කළ බව කියන වෛද්‍යවරයෙකු හා වෛද්‍යවරියක අත්අඩංගුවට ගෙන තිබේ.
 
ජාතික රෝහලේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ඊ‍යේ(8) රාත්‍රී 11ට පමණ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව  මරදාන පොලීසිය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි වෛද්‍යවරයෙකු හා 29 හැවිරිදි වෛද්‍යවරියක වන අතර ඔවුන් දෙදෙනා නුදුරේදී විවාහවීමට නියමිත යුවලක් බවද සඳහන්වේ.

වෛද්‍යවරයා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් වෛද්‍යවරිය කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් පොලීසිය සඳහන් කළේය.

ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගත් බව මරදාන පොලීසිය සඳහන් කළේය.
 
කෙසේවෙතත් ඔවුන් ජල කුළුණ මතට නැගීමට උත්සාහ කළේ කුමන කාරණයක් හේතුවෙන් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර පොලීසිය සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී එම වෛද්‍ය යුවල ප්‍රකාශ කර ඇත්තේ ඇතිවූ ආශාවක් හේතුවෙන් කුළුණ මතට  නැගීමට උත්සාහ කළ බවය .

 කෙසේවෙතත් දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති ජාතික රෝහලේ ජල ටැංකි කුළුණ මතට මොවුන් නැගීමට උත්සාහ කර ඇත්තේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවකටද එසේත් නැතහොත් වෙනත් අරමුණකින්ද යන්න සම්බන්ධයෙන් මරදාන පොලීසිය විමර්ශන සිදුකරයි.