සයිටම් වෙනුවෙන් වැඩ වර්ජනයට සංගම් රැසක් එක් වෙයි
April 6, 2017 03:51 pm
සයිටම් ගැටළුව සම්බන්ධයෙන් මුලික කරුණු 5 ක් මුල් කරගනිමින් හෙට උදෑසන 8 සිට එක් දින දීපව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කිරීමට සියල්ල සුදානම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ අනුව මුලික කරුණු 5 මෙසේ දක්වා ඇත.
1) සයිටම් ආයතනය සම්බන්ධයෙන් වන වෛද්‍ය සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම.
2) වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන අවම ප්‍රමිතිය ගැසට් කිරීම.
3) අනුකූලතා සහතිකයෙන් තොරව ලබාදුන් උපාධි පිරිනැමීමේ බලය නතර කිරීම.
4) සයිටම් ආයතනයට සිසුන් ඇතුළත් කර ගැනීම නතර කිරීම.
5) මේවන විට බඳවා ගෙන ඇති සුදුසුකම් ඇති දරුවන්ට කොමිසමක් මඟින් උසස් අධ්‍යාපනය සඳහා ක්‍රමවේදයක් ඇති කිරීම මේ අතර වෙයි.
අද (06) උදෑසන ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවට එක් වෙමින් එම සංගමය මේ බව කියා සිටි අතර එම මාධ්‍ය හමුවට වෘත්තීය සමිති හා විවිධ සංගම් රැසක් එක්ව සිටියේ ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් හා වෛද්‍ය විද්‍යාලවල ආචාර්ය සංගම් එක්ව නිකුත් කරන ලද මුලික කරුණු පහක් සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනා මාලාවක් රජයට භාර දි තිබුණ මෙතෙක් එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙවන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එක් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කෙසේ වෙතත් මෙම වැඩ වර්ජනය සඳහා වෘත්තීය සමිති හා විවිධ සමාගම් 150 කට වැඩි ප්‍රමාණයක් සහයෝගය දක්වන බවත් හෙට දිනයේ දී දැවැන්ත පෙළපාලියක් හා කොළඹ කොටුව ආශ්‍රිතව රැළියක් පැවැත් වීමට නියමිත බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ ය.
මාතෘ රෝහල්, ළමා රෝහල්, වකුගඩු හා පිළිකා සම්බන්ධ සේවා සපයන ආයතනයන්වල මෙම වැඩ වර්ජනය සිදු නොකරන බව ද සේවාවන්හි පවතින සුවිශේෂීභාවය හේතු කොට ගෙන ත්‍රිවිධ හමුදා රෝහල්වලද වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.