නාම් ඝාතනය : මෘත දේහය දීමට උ. කොරියාව සමග මැලේසියාව එකඟ වුයේ ඇයි?

කිම් ජොන්ග් නාම් මියගියේ ක්වාලාලම්පුර් අගනුවර ගුවන් තොටුපොළේදී විෂ ශරීරගත වීමෙනි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කිම් ජොන්ග් නාම් මියගියේ ක්වාලාලම්පුර් අගනුවර ගුවන් තොටුපොළේදී විෂ ශරීරගත වීමෙනි

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ගේ සොයුරු කිම් ජොන්ග් නාම් ගේ මෘත ශරීරය එරටට භාරදීමට මැලේසියාව තීරණය කර ඇත.

දෙරට අතර සාකච්ඡාවලින් අනතුරුව මේ නිගමනයට එළැඹ තිබෙන අතර මැලේසියානු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් පැවසුවේ නාම් ගේ මෘත ශරීරය නිදහස් කිරීම සඳහා මරණ පරීක්ෂකවරයා අනුමැතිය දී ඇති බවය.

සති හයකට පෙරදී කිම් ජොන්ග් නාම් මියගියේ ක්වාලාලම්පුර් අගනුවර ගුවන් තොටුපොළේදී කාන්තාවක විසින් ඔහුට විෂ ශරීරගත කිරීමෙනි.

ඒ සමග මැලේසියාව හා උතුරු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උණුසුම් තත්වයක් මතුවූ අතර ඝාතනය සම්බන්ධයෙන් මැලේසියාව උතුරු කොරියාවට ඍජුව දොස් පැවරීමක් නොකළ ද, එහි වගකීම එරට භාරගත යුතු බවට සැකයක් පැතිරෙමින් පැවතිණි.

මෙතෙක් උතුරු කොරියාවෙන් පිටවීමට නොහැකිව සිටි මැලේසියානුවන් නව දෙනාට ඒ සඳහා එරට රජයෙන් දැන් අවසරය ලැබී ඇති බව අගමැති නජීබ් රසාක් පැවසීය.

ඒ අයුරින්ම උතුරු කොරියානුවන්ට ද මැලේසියාවෙන් පිටව යාමට හැකියාව ලැබෙන බව ඔහු සඳහන් කළේය.

කිම් ජොන්ග් නාම් ගේ ඝාතනයට අදාළව මැලේසියානු පොලිසියට අවශ්‍යව සිටි උතුරු කොරියානුවන් තිදෙනා ද ඒ අතර සිටිය හැකි බව බීබීසී අග්නිදිග ආසියානු කලාපීය වාර්තාකරු ජොනතන් හීඩ් පැවසීය.

ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ පරිශ්‍රමයක් ?

සිය පුරවැසියන්ව උතුරු කොරියාව විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇති බව පවසමින් මේ මස මුළදී දැඩිව මැලේසියාව පැවසුවද, අදාළ පුද්ගලයන් මුදවා ගැනීම සඳහා උතුරු කොරියාවේ ඉල්ලීම පිළිගෙන ඇති බවක් පෙනෙන්නට ඇතැයි වාර්තාකරුවෝ පවසති.

"මේ කාරණය සම්බන්ධයෙන් මා පෞද්ගලිකව දැඩි අවධානයක් යොමු කළා. මේ ප්‍රතිපලය ලබාගන්නට පසුබිමේ අපි දැඩි පරිශ්‍රමයක් දරුවා" යැයි පැවසූ මැලේසියානු අගමැති නජිබ් රසාක්, "මැලේසියානු භුමිය තුළ සිදුවූ මේ බරපතල අපරාධය සම්බන්ධ පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා." යැයි ද සඳහන් කළේය.

මේ ඝාතනය සම්බන්ධයෙන් වියට්නාම ජාතික කාන්තාවක හා ඉන්දුනීසියානු කාන්තාවක අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් පැවසුවේ තමන් කිසියම් විනෝදාත්මක රූපවාහිනී වැඩසටහනක කොටස්කරුවන් ලෙස ඊට සම්බන්ධ වී යැයි සැළකූ බවය.

වීඩියෝ ශීර්ෂ වැකිය, කිම් ජොන්ග් නාම් ගුවන්තොටුපොළේදී

ගුවන් තොටුපොළේ සිටි කිම් ජොන්ග් නාම් වෙත සමීපවූ එක් කාන්තාවක ඔහුගේ මුහුණ රෙදි කඩකින් පිසදමන අයුරු සීසීටීවී දර්ශනවලින් දැකගත හැකිවූ අතර පසුව අනාවරණය වුයේ වීඑක්ස් නම් වූ විසක් නාම්ගේ ශරීරගත වී ඇති බවය. සිදුවීමෙන් විනාඩි 20ක් ගතවෙත්ම කිම් ජොන්ග් නාම් මිය ගියේය.

ඉන් අනතුරුව කිම් ජොන්ග් නාම්ගේ මෘත ශරීරය භාරදෙන ලෙස උතුරු කොරියාව ඉල්ලා සිටියද මැලේසියාව ඊට එකඟ නොවීමේ තත්වය තුළ දෙපාර්ශ්වය අතර උණුසුම් වාතාවරණයක් මතු විණි.

ඝාතයට අදාළව උතුරු කොරියානුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජ්‍යාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කළ අතර කිම් ඝාතනය කෙරුණු දින ගුවන් තොටුපොළේ සිටි ඔවුන් පසුව පලා ගොස් ඇති බව මැලේසියාව පැවසීය.

උතුරු කොරියාවට පලාගොස් ඇති බවට විශ්වාස කෙරුණු එම සිවු දෙනා අත්අඩංගුවට ගැනීම ඵලදායී නොවිය හැකි යැයි සැළකුනේ උතුරු කොරියාව ජ්‍යාත්‍යන්තර පොලිසියේ සාමාජික රටක් නොවන බැවිනි.