රණවිරුවා වෙනුවෙන් අද කවුරුත් ජීනිවා නුවර නැහැ

රණවිරුවා වෙනුවෙන් අද කවුරුත් ජීනිවා නුවර නැහැ

March 8, 2017   04:12 pm

රණවිරුවා යුද අපරාධ සිදු කළ බව ජීනිවා නුවර දී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් දේශද්‍රෝහී ලෙස අගය කරමින් පිළිගත් බවත් එම රණවිරුවා නියොජනය කිරීමට අද වන විට කිසිවෙක් ජීනිවා නුවර නොමැති බව ද ජාතික සංවිධාන එකමුතුව පවසයි.

අද (08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා අදහස් පළ කර සිටියේ ය. 

පවතින මෙම තත්ත්වය තුළ රණවිරුවා රැක ගැනීමේ අරමුණින් ඔවුන් යුද අපරාධ සිදු කළේ නැති බව පවසමින් විශේෂඥයින් විසින් නිකුත් කරන ලද වාර්තාව සමඟ ජීනිවා නුවරට යෑමට බලාපොරොත්තු වන බව ද සරත් වීරසේකර මහතා කියා සිටියේ ය. 

තවද මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසා සිටියේ උතුරු හා නැගෙනහිර තිබෙන කඳවුරු පිහිටු වීම හා පවත්වාගෙන යෑම පිළිබඳ වැඩි වශයෙන් කැමැත්තක් දැක්වුයේ එම ප්‍රදේශවල සාමාන්‍ය දෙමළ ජනතාව බවත් අද වන විට එම ආරක්ෂක කඳවුරු ඉවත් කරමින් සිටින්නේ රාජ්‍ය නොවන සංවිධාන හා දෙමළ ඩයස්පොරොවේ ද්‍රෝහී පිරිසකගේ උවමනාවට බවයි. 

එම උවමනාව අද වන විට රජය විසින් ඉටු කරමින් සිටින බවට ද නාලක හිමියන් මෙහිදී චෝදනා කර සිටියේ ය.