පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර හමුදාමය සබදතා ශක්තිමත් කරගැනීමේ සාකච්ඡාවක්

පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර හමුදාමය සබදතා ශක්තිමත් කරගැනීමේ සාකච්ඡාවක්

February 17, 2017   05:04 pm



පකිස්ථානයේ නිල සංචාරයක නිරත නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එරට ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමු වී තිබේ.

පාකිස්ථානු ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක නිමැයුම් පිළිබඳ අමාත්‍යවරයා, ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී ජනරාල්වරයා, පාකිස්ථානු නාවික හමුදාපතිවරයා සහ පාකිස්ථාන ගුවන් හමුදාපතිවරයා හමුවී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සාකච්ඡා පවත්වා ඇති බව නාවික හමුදාව පැවසුවේය.

දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබදව සහ ද්වී පාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්වේ.

විශේෂයෙන්ම කලාපීය රටවල් අතර ආරක්ෂාව තහවුරු කරගැනීම සම්බන්ධයෙන් සහයෝයෙන් කටයුතු කළ යුතු ආකාරය සහ දෙරට අතර හමුදාමය සබදතා ශක්තිමත් කරගැනීමේ වැදගත්කමද එහිදී සාකච්ඡාවට ලක් කර තිබේ.

 ජාත්‍යන්තර නාවික අභ්‍යාසයට සමගාමීව සිදුකළ සංචාරය අවසන් කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද(17) මෙරටට පැමිණිමට නියමිතය.