ත්‍රිකුණාමලය වරාය ගැන ඉන්දියාව සමග සාකච්ඡා කළා
January 20, 2017 08:27 am
බෙංගාල බොක්කේ ප්‍රධානතම වරාය ලෙස ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමට ඉන්දියාව සමග සාකච්ඡා කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ස්විට්සර්ලන්තයේ දාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ඉන්දියාවේ එන්.ඩී.ටී.වී ආයතනය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
මේ වන විට ත්‍රිකුණාමලය සිංගප්පූරුව විසින් සැලසුම් කරන බවද, එම සැලසුම් අවසන් වූ පසු එම ප්‍රදේශය විශාල සංචාරක කලාපයක් වනු ඇති බවද, ඒ සමගම ජපානයද ආයෝජනයට පැමිණෙනු ඇති බවද, අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ උතුරු පළාතේ ව්‍යාපෘතින් සම්බන්ධයෙන් ද ඉන්දියාව සමග කටයුතු කරන බවයි.
මේ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත එට්කා ගිවිසුමට මේ වසර මැද භාගයේදී අත්සන් තබන බව එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීම සඳහා වැඩකටයුතු අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමග වෙළෙඳ සබඳතා ගොඩනගා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.
එමෙන්ම චිනය සහ ජපානය සමගද, බංග්ලාදේශය සමගද, ගිවිසුම්වලට එළඹීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එන්.ඩී.ටී.වී ආයතනය සමග පැවැති සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.