රක්නා ආරක්ෂක ලංකා ඈවරයි!

රක්නා ආරක්ෂක ලංකා ඈවරයි!

ඡායාරූප මූලාශ්‍රය, Rallsecurity.com

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

වර්තමානයේ රට තුළ පවතින සාමකාමී වාතාවරණය යටතේ රජයට අනුබද්ධ පෞද්ගලික ආරක්ෂක සේවාවක් පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බව පෙනී ගොස් ඇති බැවින් කැබිනට් මණ්ඩලය එම තීන්දුවට එළඹී බව අද (දෙසැ.07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙළි කෙරිණ.

එවක රට තුළ පැවති ආරක්ෂක වාතාවරණය හමුවේ ආර්ථික මර්මස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළු විශේෂ ස්ථාන තුළ ආරක්ෂාවට යොදවා සිටි සන්නද්ධ හමුදා සාමාජිකයන් එම ස්ථානවලින් ඉවත් කර නීතිය හා සාමය රැකීමේ කටයුතු සඳහා යෙදවූ බැවින් ඉහත කී ආයතනවලට ආරක්ෂාව සැපයීම සඳහා රක්නා ආරක්ෂක ලංකා සමාගම පිහිටුවීමට කටයුතු කළ බව එහිදී ප්‍රකාශ විණ.

ඒ අනුව රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් දැනට ඉටු කරනු ලබන ගොඩබිම් ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ද සාගර ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ද පැවරීමටත් නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම සමාගම ඈවර කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.