පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් අඛණ්ඩව අරගල කරනවා

පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් අඛණ්ඩව අරගල කරනවා

December 2, 2016   02:53 pm


රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් අඛණ්ඩව අරගල කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

අද(01)තම සිරදඬුවම් කාලය නිමා කොට අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස්වූ මොහොතේ මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

තමා සිටින්නේ ලංකාවේද,වෙනත් විදේශ රටකද යන්න තම දේශපාලන ක්‍රියාකාරිත්වයට ගැටළුවක් නොවුණු බවත්,එය බන්ධනාගාරය යන්නද මෙතෙක් ගැටළුවක් නොවුණු බවත් ඔහු කියා සිටියේය.

විධිමත් ලෙස පුරවැසිභාවය ඉල්ලා සිටිනු ලැබුවහොත් ඒ පිළිබඳ සලකා බැලීමට සූදානම් බවට පසුගියදා ඇතැම් බලධාරීන් විසින් කරනු ලැබූ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ගුණරත්නම් මහතා කියා සිටියේ තමා අත්අඩංගුවට ගැනීමට පෙර සිටම පුරවැසිභාවය ඉල්ලා විධිමත් අයදුම්පත් යොමු කළ බවයි.

මේ වන විට එවන් අයදුම්පත් ගණනාවක් ඉදිරිපත් කර ඇති බවත්,ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකොට යළි විධිමත් අයදුම්පත් යොමුකරන ලෙස කීම හාස්‍යට කරුණක් බව ගුණරත්නම් මහතා පෙන්වා දුන්නේය.

ඉතාම පැහැදිලි ලෙස තමාගේ පාරම්පරික පුරවැසිභාවය වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කළ බවත්,ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත්කරගත හැක්කේ මෙරට පුරවැසිභාවය ලැබීමෙන් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

පැවති රජයත්,පත්වුණු රජයත් ඒවායේ නායකකාරකාදීනුත් තම තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර අනුව කටයුතු කිරීම හැරුණුවිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට හෝ පුරවැසියෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකීමට කටයුතු නොකරන බව ගුණරත්නම් මහතා අවධාරණය කළේය.

එබැවින් තමාට විශ්වාසය ඇත්තේ රජය ගැන නොව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන තම පාක්ෂිකයින්,ප්‍රගිතිශීලි බලවේග,සිවිල් සංවිධාන,වාමහිතෛශි පුද්ගලයින් ගැන පමණක් බව ඔහු කියා සිටියේය.


තම සිරදඬුවම් කාලය නිමා කොට අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස්වූ මොහොතේ මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් කුමාර් ගුණරත්නම් මහතා විසින් කළ කතාව සම්පූර්ණයෙන් පහත පරිදි වෙයි,

“අවුරුද්දකුත් මාසෙකට පස්සෙ ආපහු සාමාන්‍ය ජනයා සමග දේශපාලන කටයුතු කරන්න අවස්ථාව ලැබුණා කියලා හිතනවා. නමුත් තවමත් මගේ දේශපාලන අයිතිය හා පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නයට විසදුමක් නෑ. වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව කෙටි කාලයකට තාවකාලික වීසා බලපත්‍රයක් දීලා තියෙනවා. ඒ අනුව තමයි පුරවැසිභාවය වෙනුවෙන් වැඩකටයුතු කරන්න වෙන්නෙ.පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදර සහෝදරියො, අනෙකුත් වාමාංශික පක්ෂ සහ පුද්ගලයන්, ප්‍රගතිශීලීන්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද මගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂයෙන් ඒ වෙනුවෙන් අරගලය තුළ කැපවීමෙන් කටයුතු කළා, අරගලයේ නිරතවුණා. එහි යම් ප්‍රතිපලයක් ලබාගන්න පුලුවන් වෙයි. මගේ පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නය පොදුවෙ රටේ පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නයේම පැතිකඩක් හැටියටයි මා හිතන්නේ.  ඒ නිසා මේක රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනාගැනීමේ අරගලයට මා ඉදිරියේදී දායකත්වය සැපයීම මේ අරගලයේ දිගුවක් ලෙස මා හිතනවා.

මා අත්අඩංගුවට ගත් දිනයේ සිට රටේ විවිධ ස්ථානවල සිර අරගල කරමින්, උද්ඝෝෂනය කරමින් මගේ අයිතිවාසිකම් හා දේශපාලන නිදහස වෙනුවෙන් සමාජ මතයක් ගොඩනගන්න අවශ්‍ය හඩ නැගීමක් අරගලයක්  සිදුවුණා. මා අධිකරණයෙන් දුන් දඩුවම ගෙවලා තමයි මේ එලියට ආවෙ. නමුත් දේශපාලන අයිතිය ලබාගැනීමේ අරගලයේ යම් සාධනීය ප්‍රතිඵලයක් ලබනවා නම් ඒක වෙන්නෙ රටේ ප්‍රගතිශීලීන් වාමාංශික පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ලැදි අනෙකුත් ක්‍රියාකාරින් එක්ට දැක්වූ දායකත්වය නිසයි. ඔවුන්ගේ උත්සාහයේ හා කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

පාර්ලිමේන්තුවෙදි ඇමැතිවරයා කිව්වෙ ඉල්ලීම් කළොත් පුරවැසිභාවය දෙන්න පුලුවන් කියලා.?

ඉල්ලීම් ගණනාවක් අප භාරදීලා තියෙනවා. මා ලංකාවට ආවෙ 2015 ජනවාරි 1 වැනිදා. එදා සිට මා ඉල්ලීම් ඉදිරිපත් කළා. අත්අඩංගුවට ගන්න කළින්ම අයදුම් පත්‍ර කීපයක්ම ඉදිරිපත් කළා. ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතෙක් ඒ අයදුම් පත්‍ර භාරගන්න තත්වයක්වත් තිබුනෙ නෑ. ඒ නිසා විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම කියන එක එක්තරා ආකාරයකට හාස්‍යයට කාරනයක්. එවැනි අයදුම් කිරීම් ගණනාවක් අප දැනටමත් භාරදීලා තියෙනවා. ඒ ඉල්ලීම් භාරගන්නෙවත් නැතුව ඔවුන්ගෙ විවිධ දේශපාලන අරමුණු නිසා අත්අඩංගුවට ගෙන අදිකරන ක්‍රියාමාර්ගයකට යොමු කළා. නැවත ඉල්ලීමක් කරන්න කියලා කියනවා නම් ප්‍රශ්නයක් නෑ අයදුම්පත්‍රයක් දෙන්න පුලුවන්.

විශ්වාසයක් තියෙනවද පුරවැසිභාවය ලැබෙයි කියලා.

අපට හැමවෙලාවෙම විශ්වාසය තියෙන්නෙ අපේ අරගලය ගැන, පාක්ෂිකයන්ගෙ ධෛර්ය ගැන. ඉතිහාසයෙදි වගේම මේ වෙලාවෙත් අපේ විශ්වාසය තියෙන්නෙ අපේ පාක්ෂිකයන් හා අරගලය ගැනයි ඒ වගේම රටේ වාමාංශික, ප්‍රගතිශීලින් හා ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල කැපවීම පිළිබද විශ්වාසය තමයි අපට තියෙන්නෙ. ඒ විශ්වාසය තමයි අපට ඉදිරියේ සිදුවන දේ ගැන ජයග්‍රාහීව හිතන්න පොළඹවන්නේ.

නමුත් වර්තමාන ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කුමන පියවරක් ගනීද කියලා අපට විශ්වාසයක් නෑ. විශේෂයෙන් පැවති ආණ්ඩුවත් දැන් පවතින ආන්ඩුවත් ඒ නායකයනුත් තම තමන්න් න්‍යායපත්‍රය අනුව වැඩ කරනවා මිස රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ දේශපාලන ක්‍රියාකාරිකයෙකුගේ අයිතිය රැකීම ගැන ඔවුන් තීරණ න්නෙ නෑ. ඔවුන් තමන්ගෙ දේශපාලන බලය වෙනුවෙන් වූ නයාය පත්‍රයකට අනුවයි තීරන ගන්නෙ. ඒ නිසා අපේ විශ්වාසය තියෙන්නෙ අපේ අරගලය ගැනයි.

දිගටම දේශපාලනයෙ යෙදන්න අදහසක් තිබෙනවද?

මගේ දේශපාලන ක්‍රියාකාරත්වය ගැන ගැටලුවක් කවදාවත් තිබුනේ නෑ. ලංකාවෙද ඉන්නෙ විදේශගතවද ඉන්නෙ කියන එක දේශපාලන ක්‍රියාකාරතිව්යට ප්‍රශ්නයක් නෙවෙයි. හිරගතව ඉන්න එකත් ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද හිරගතව ඉන්න එකත් සාමාන්‍ය ජනතාවගේම කොටසක් බන්ධනාගාරයේ රැකියාවල නියුතු වෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවගෙ කොටසක් සිරගතව ඉන්නවා. ඒ නිසා ඔවුන් එක්ක හෝ පක්ෂයත් එක්ක  දේශපාලනය කරන එක කවදාවත් ප්‍රශ්නයක් වුනේ නෑ.  ඉදිරියේදී ජනතාවගේ සුසිද්ධිය වෙනුවෙන් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සමාජවාදය වෙනුවෙන් පක්ෂය හා සමස්ත ජනතාව සමග ඒ අරගලයෙ දිගටම නියුක්ත වෙනවා.

ඔබ ද්විත්ව පුරවැසිභාවයද බලාපොරොත්තු වෙන්නෙ?

පැහැදිලිවම අපි මුලසිට කිව්වෙ රටේ පාරම්පරික පුරවැසිභාවය පිලිබද අයිතිය ඕන කියලා. පාරම්පරික පුරවැසිභාවය පිලිගැනීමේ වගකීම තියෙන්නෙ ආණ්ඩුවටයි. අපි ද්විත්ව පුරවැසිභාවය පිළිබද ඉල්ලීමක් කොයි වෙලාවකවත් ඉදිරිපත්කළෙත් නෑ. නමුත් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කරන්න ලංකාවෙ පුරවැසිභාවය පිළිගත යුතුයි. පොදු තත්වය රටක් නැති පුද්ගලයෙක් ඉන්න බෑ. ඒ නිසා අපේ අවශ්‍යතාව තමයි පුරවැසි අයිතිය ලබාදන එක. ඉන්පසුව ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කරලා මෙගේ දේශපාලන කටයුතු කරගෙන යන්න පුලුවන්.