‘වර්ජනය කිරීමට බලාසිටින ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්’

‘වර්ජනය කිරීමට බලාසිටින ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්’

වැඩවර්ජනය කිරීම සඳහා ලෝකයේ වැඩියෙන්ම බලා සිටින වෛද්‍යවරුන් සිටින්නේ ශ්‍රී ලංකාවේ යයි සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අද බදාදා (30) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සෞඛ්‍යය ඇමතිවරයා 'මෙවර වෛද්‍යවරුන් වැඩවර්ජනය කළේ අය-වැය සම්බන්ධයෙන් මතු වී ඇති තාක්ෂණික කාරණා කීපයක් මුල් කරගෙන'බව පෙන්වා දුන්නේය.

අත්‍යවශ්‍ය මහජන සේවයක් වන වෛද්‍ය වෘත්තිකයන් මෙලෙස දිගින් දිගටම වැඩවර්ජන සිදුකිරීම නතරකිරීම සඳහා දැඩි රෙගුලාසි පැනවීමට ආණ්ඩුව පියවර නොගන්නේ කුමක් නිසාදැයි මාධ්‍යවේදියෙකු නමුත් එම ප්‍රශ්නයට ඇමතිවරයාගෙන් පිළිතුරක් නොලැබුණි.

වර්ජනයක් සිදුකළ යුත්තේ සාකච්ඡා වට ගණනාවකට ගොස් විසඳුමක් නොලද විට වෙනත් ක්‍රියාමාර්ගයක් නොමැති තැන නමුත්, ශ්‍රී ලංකාවේ මුලින් ම සිදුවන්නේ වර්ජනයට යාම බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වැරදි මතයක

වෛද්‍යවරුන් මතුකරන ගැටළු තමාවෙත ඉදිරිපත්වූ අවස්ථාවේ මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට වෛද්‍යවරුන්ට ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකළ බවත් රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි.

රජයේ සේවයේ සිටිමින් දෙවැනි රැකියාවක් සිදුකිරීමේ දී පැනවෙන බදු සම්බන්ධයෙන් වෛද්‍යවරුන් වැරදි මතයක සිටි අතර තමා එය නිවැරදි කර දුන් බව ඇමතිවරයා සඳහන් කළේය.

ආණ්ඩුව සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අතර දිගින් දිගට පවතින මත ගැටුම් මෙවැනි වර්ජන ව්‍යාපාරවලට හේතු වී තිබේදැයි විමසූ විට සෞඛ්‍යය ඇමතිවරයා සඳහන් කළේ 'තමාට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සමග ගැටලුවක් නොමැති' බවය.

'ලංකා ඊ නිව්ස්' කතුවරයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීම සඳහා ගෙනඇති අධිකරණ ක්‍රියාමාර්ගය ගැන කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් සෞඛ්‍යය ඇමතිවරයාගෙන් දැඩිව ප්‍රශ්න කළ අතර එය රජය විසින් ගත් ක්‍රියාමාර්ගයක් නොවන බව ඇමතිවරයා දිගින් දිගටම කියාසිටියේය.

ලංකා ඊ නිව්ස්

අධිකරණ ඇමතිවරයාගේ ප්‍රකාශය එම වරෙන්තුව නිකුත් කිරීමට බලපෑමක් වෙන්නට තිබුණා නොවේදැයි මාධ්‍යවේදියකු ප්‍රශ්න කළත් එම ප්‍රශ්නයට ද ඇමතිවරයාගෙන් නිසි පිළිතුරක් නොලැබුණි.

වෛද්‍ය වැඩවර්ජනය සහ 'ලංකා ඊ නිව්ස්' කතුවරයා අත්අඩංගුවට ගැනීමට අදාළ ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමතිවරයා දුන් පිළිතුරු මෙහි ඇතුළත් වීඩියෝ පටයෙන් නරඹන්න.