ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් රිමාන්ඩ් භාරයට

සැකකරු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock

ඡායාරූප ශීර්ෂ වැකිය,

සැකකරු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ

ආගම් අතර සංහිඳියාවට බාධා ඇතිවන ආකාරයේ ප්‍රකාශන කළ බවට සැකපිට අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුර් රෆික්දින් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කළේය.

කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ බුදුදහමට සහ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව සැකකරු විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශන සිදු කරනු ලැබ ඇති බවය.

'සංහිඳියාවට අගතියක්'

මෙම ප්‍රකාශන හේතුවෙන් බෞද්ධයන් කුපිත විය හැකි බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ආගම් අතර සංහිඳියාවට එමගින් අගතියක් සිදුවන බව කියා සිටි පොලිසිය පරීක්ෂණ කටයුතු අවසන් කරන තෙක් සැකකරු රිමාන්ඩ් භාරයට පත්කරන මෙන් ඉල්ලා සිටියේය.

එල්ලවී ඇති චෝදනා ප්‍රතික්ෂේප කළ විත්තියේ නීතිවේදී මෛත්‍රී ගුණරත්න කියා සිටියේ බෞද්ධ මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීම සඳහා මෙම පැමිණිල්ල පොලිසියට ඉදිරිපත් කර ඇති බවය.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.