ජී.එස්.පී.ප්ලස් ලබා ගන්න උපරිම සහය දෙනවා

ජී.එස්.පී.ප්ලස් ලබා ගන්න උපරිම සහය දෙනවා

October 19, 2016   12:49 pm



ජී.එස්.පී.ප්ලස් සහනය යළි ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව  යුරෝපීය කොමිසමේ සභාපති යොන් ක්ලොඩ් යොන්කර් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට ජී.එස්.පී.ප්ලස් සහනය යළි ලබාගැනීම සඳහා ඇති ඉඩකඩ පුළුල් වී ඇති බවයි.

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බර්ලිමොන්ට් මන්දිරයේ  පිහිටි යුරෝපීය කොමිසම් මුලස්ථානයේ පැවති සාකච්ඡාවකදී යොන්කර් මහතා මෙම අදහස් පළ කර තිබේ.

 ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ සහභාගීත්වයෙන් සැදුනු සම්මුතිවාදී ජාතික ආණ්ඩුව ඔස්සේ නිවැරදි දිශාවකට ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති බව ඔහු එහිදී පෙන්වා දී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාමය සංහිඳියාව ස්ථාපිත කරළීම සඳහා ගෙන යනු ලබන වැඩපිළිවෙළ තමන් බෙහෙවින්ම අගය කරන බව ක්ලෝඩ් යොන්කර් මහතා ප්‍රකාශ කර තිබේ.

වත්මන් යහපාලනය වඩාත් විදිමත් හා ක්‍රමවත් ලෙස ඉදිරියට ගෙන යාම ඔස්සේ යුරෝපීය ප්‍රජාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද විශ්වාසය දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකි බව යුරෝපීය කොමිසමේ සභාපති ක්ලෝඩ් යොන්කර් මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.