2016 ලෝක දෘෂ්ඨි දිනය වෙනුවෙන් වළක්වාගත හැකි අන්ධභාවය තුරන් කිරීමේ වැඩසටහනක් පෙළක්

    October, 18, 2016

    විෂන් 2020 ඉලක්කය සපුරා ගැනීම සඳහා පාගමනක් සහ නොමිලේ අක්ෂි සායන පැවැත්වේ

    ශ‍්‍රී ලංකාවේ වළක්වාගත හැකි අන්ධභාවය තුරන් කරගැනීම සඳහා වන විෂන් 2020 වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කරගැනීමේ තවත් පියවරක් වශයෙන්, 2016 ලෝක දෘෂ්ඨි දිනයේදී වැඩසටහන් කිහිපයක් ක‍්‍රියාවට නංවන ලදි.

    මෙම වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක‍්‍රියාවට නංවන ලද අතර ඒ සඳහා ‘So Others May See’ (SOMS) සංවිධානය, ශ‍්‍රී ලංකා අක්ෂි වෛද්‍ය විද්‍යාලය සහ එටිසලාට් ලංකා සමාගම යන පාර්ශ්වවල දායකත්වය හිමිවී තිබිණි.

    කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සිට නිදහස් චතුරශ‍්‍රය දක්වා පැවති පා ගමනකින් මෙවර ලෝක දෘෂ්ටි දින සැමරුම් වැඩසටහන ආරම්භ විය. මෙම වැඩසටහනට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ විෂන් 2020 ජාතික මධ්‍යස්ථානයේ සභාපති වෛද්‍ය පාලිත මහීපාල, කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්. එල්. එස්. එන්. ප‍්‍රනාන්දු, ීධඵී සංවිධානයේ සහ ශ‍්‍රී ලංකා අක්ෂි වෛද්‍ය විද්‍යාලයේ නියෝජිතයන්, විෂන් 2020 වැඩසටහනේ මෙහෙයුම් කාර්ය මණ්ඩලය, එටිසලාට් ලංකා සමාගමේ නියෝජිතයන් සහ පොදු මහජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    මීට සමගාමීව කළුබෝවිල පින්වත්ත මහා විහාරයේදී අක්ෂි සායන මාලාවක්ද සංවිධානය කරන ලදි. ජනතාවට නොමිලේ ඇස් කන්නාඩි ලබාදීමේ අරමුණ ඇතිව ඇස් පරීක්ෂා කිරීම මෙන්ම ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය සඳහා රෝගීන් පරීක්ෂා කිරීම සහ ලියාපදිංචි කිරීමද මෙහිදී සිදුවිය.

    එමෙන්ම දෑසේ නිරෝගී බව මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට බලපාන ආකාරය නිර්මාණශීලී ලෙස විදහා දැක්වීම සඳහා වෘත්තීය සහ ආධුනික ඡායාරූප ශිල්පීන්ට අවස්ථාවක් ලබාදෙනු පිණිස ‘එක්ව ශක්තිමත්ව’ යන තේමාව යටතේ ඡායාරූප ප‍්‍රදර්ශනයක්ද නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේදී සංවිධානය කර තිබිණි.
    ශ‍්‍රී ලංකාව තුළ වළක්වාගත හැකි අන්ධභාවය තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන විෂන් 2020 මගින් අන්ධභාවය සහ දෘශ්‍යාබාධ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරිව, සෑම වසරකම ඔක්තෝබර් මස දෙවැනි බ‍්‍රහස්පතින්දා ලෝක දෘෂ්ඨි දිනය සමරනු ලැබේ.

    ශ‍්‍රී ලංකාවේ මිලියන 20 ක ජනගහනයෙන් මිලියනයක් පමණ පෙනීම අඩුවීම නිසා පීඩා විඳින අතර මෙම පිරිස අතරින් 150,000 ක් පමණ දෙනා අන්ධභාවයට පත්වී ඇතැයි විශ්වාස කෙරේ. ඇසේ සුද මතුවීම, වර්තන දෝෂ, ග්ලෝකෝමාව, දියවැඩියා රෙටිනෝපති තත්ත්වය සහ දරුවන් අතර ඇතිවන අන්ධභාවය යනාදිය අන්ධභාවයට තුඩු දෙන ප‍්‍රධාන හේතු ලෙස පෙන්වා දිය හැක.

    මේ වනවිට බහුතරයක් දෙනා අන්ධභාවයට පත්වී ඇත්තේ ඇසේ සුද මතුවීම නිසා ය. මෙය සාමාන්‍යයෙන් වියපත් වීමත් සමග ඇතිවන තත්ත්වයක් වුවද උපතේ සිට ඇතිවන සංකූලතා, ඇසට සිදුවන අනතුරු සහ දීර්ඝකාලීන රෝග තත්ත්ව වැනි හේතු නිසාද ඇසේ සුද මතුවීමට ඉඩකඩ පවතී.