'රටේ ඉන්න නම් අපේ දරුවන්ට ජනප්‍රිය පාසල් දෙන්න'

doctor
ඡායාරූප ශීර්ෂ වැකිය,

'ප්‍රමුඛතා හඳුනා ගැනීමට නොහැකි වුවහොත් ප්‍රතිවිපාක'

තම සංගමය මෙන් ඕනෑම වෘත්තීය සමිතියකට සිය දරුවන් වෙනුවෙන් පාසල් ලබා දෙන ලෙස ඉල්ලම කළ හැකි බවත් එම ඉල්ලීම ලබා දීමේ ප්‍රමුඛතාවය හඳුනා ගැනීම රජයේ වගකීම බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එලෙස ප්‍රමුඛතා හඳුනා ගැනීමට නොහැකි වුවහොත් එහි ප්‍රතිවිපාක රජයට පමණක් නොව මහජනතාවට විදීමට සිදු වනු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික නලින්ද හේරත් මාධ්‍ය හමුවකදී පැවසුවේ.

විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට නම් පාසල් වලට දරුවන් ඇතුළත් කිරීම වැනි වරප්‍රසාද ඔවුන්ට ලබා දීම අත්‍යවශ්‍ය බවයි ඔහු අවධාරණය කළේ.

'ඉල්ලීම් අසාධාරණයි'

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය දරුවන්ට ජනප්‍රිය පාසල් ඉල්ලීම පිළිබඳව කිසි ලෙසකින්වත් සළකා නොබලන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පාර්ලිමේන්තුවේ දී පැවසුවේ.

ඔහු සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් අසාධාරණ බවයි.

හොරණ සිට හෝමාගමට මාරුවීම් ලද වෛද්‍යවරයෙක්, මොනරාගල සිට නුවරඑළියට මාරුවීම් ලද වෛද්‍යවරයෙක් හා බලංගොඩ සිට හෝමාගමට මාරු වීම් ලද වෛද්‍යවරුන් පවා ඉල්ලා සිටින්නේ කොළඹ රාජකීය විද්‍යාලය බවයි ඔහු පෙන්වා දුන්නේ.