ලියාපදිංචි නැති යතුරුපැදි ලියාපදිංචියට මාස 04 ක කාලයක්

    August, 31, 2016

    නීත්‍යනුකූල ලියවිලි නොමැති යතුරුපැදි පරීක්ෂා කිරීමෙන් පසු සහනයක් ලෙස ලියාපදිංචිය ලබා දීමටත්, මෙම සහනය ලබා දීමේදී නීත්‍යනුකූල වශයෙන් යතුරුපැදි ආනයනය කරනු ලබන ආනයනකරුවන්ට අගතියක් නොවන පරිදි හා මෝ‍ටර් වාහන පනතේ අඩංගු විධිවිධානවලට අනුකූල වන යතුරුපැදි සඳහා මෙය ක්‍රියාත්මක කිරීමටත්, මෙම සහනය මාස හතරක (04) කාල සීමාවකට පමණක් ලබා දීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවේ මෙසේ සඳහන් වේ.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ යතුරුපැදි මෙරට බහුලව දක්නට ලැබේ. පොදු ප්‍රවාහන පහසුකම් අඩු ප්‍රදේශවල බහුල වශයෙන් භාවිත වන මෙවැනි යතුරුපැදි ග්‍රාමීය ප්‍රදේශවල කෘෂි ආර්ථිකයට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දෙන අතර, ස්වයං රැකියාවල නිරතවන්නන් විසින්ද එවැනි යතුරුපැදි ‍බොහොමයක් භාවිත කරනු ලබයි.

    ග්‍රාමීය ආර්ථිකයට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දුන්නද, මෙවැනි යතුරුපැදි ලියාපදිංචි නොකිරීමෙන් රජයට විශාල ආදායමක් වාර්ෂිකව අහිමි වන අතර, රට තුළ වංචා, දූෂණ සහ සොරකම් මැඬලමින් නීතිය ස්ථාපිත කිරීම සඳහා අධිභාරයක් පැනවීම මඟින් මෙම යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා අවස්ථාව සලසා දීම සුදුසු බව හඳුනාගෙන තිබේ.