චීන වරාය ව්‍යාපෘතිය ගැන අගමැති කරුණු පහදයි

වරාය නගරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පරිසර වාර්තාව අනුමත වීම සහ සින්නක්කර ලෙස ඉඩම් ලබා නොගැනීමට චීන සමාගම එකඟ වීම යන කරුණු මත චීන වරාය නගර ව්‍යාපෘතියට අනුමැතිය ලබා දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා ඒ බව කියා සිටියේ නවතා දමා තිබූ වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අනුමැතිය ලබා දීම සහ එය මූල්‍ය නගරයක් වශයෙන් සංවර්ධනය කිරීම යන තීන්දු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේදී.

"නැවත මේ පාරිසරික විනාශය ඒ ආකාරයටම සිදු වන තත්වයක් යටතේ එතන මූල්‍ය නගරයක් ඇති කරන්නේ ඇයි ? මූල්‍ය නගරය ඉදිකිරීමට වෙනත් ස්ථාන තිබියදී ඇයි මුහුද ගොඩ කරන ස්ථානයක් මේ සඳහා තෝරා ගන්නේ?" පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රශ්න කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා ප්‍රකාශ කළේ වැලිකඩ බන්ධනාගාරය ඉවත් කොට එම ස්ථානයේ මූල්‍ය නගරය ස්ථාපිත කිරීමට මීට පෙර සැලසුම් කර තිබූ බවයි.

කෙසේනමුත් වැලිකඩ බන්ධනාගාරය සතු භූමි ප්‍රමාණයට වඩා වැඩි භූමි ප්‍රමාණයක් චීන වරාය නගර ව්‍යාපෘතියේ ඇති බැවින් එය ප්‍රයෝජනයක් ලෙස සලකා මූල්‍ය නගරය, වරාය නගරයේ ස්ථාපිත කිරීමට තීන්දු කළ බවයි අගමැතිවරයා කියා සිටියේ.

වැලිකඩ බන්ධනාගාරය

වරාය නගර ව්‍යාපෘතියේ පරිසර හානිය අවම කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය.

"පරිසර වාර්තාවෙන් ඒක අනුමත කළා ඉදිරියට යන්න කියලා, චීන සමාගම එකඟ වුනා සිනකක්ර ඉඩම් ගන්නේ නැහැ කියලා, සියලු කාරණා පරිසර වාර්තාව අනුව සිදු කරන්නේ, ධීවර ප්‍රශ්නයටත් අපේ අවධානය යොමු වෙලා තිබෙනවා.''

''මූල්‍ය නගරය, වරාය නගරයේ ඉදි වීමත් සමග වැලිකඩ ප්‍රධාන වෙළඳ සංකීර්ණයක් බවට පත් වෙනවා.''

මේ අතර හම්බන්තොට ප්‍රදේශයේ අක්කර පහළොස් දහසක භූමි ප්‍රමාණයක ඉදි කිරීමට යෝජිත කර්මාන්ත පුරවරය හේතුවෙන් වනජීවි සම්පතට සිදු වන හානිය පිළිබඳවත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

"හඳුනා ගෙන තිබෙන ඉඩම් දැනට වනජීවි ලෙස ගැසට් කර නොමැති වුවත්, වනජීවි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබෙන ප්‍රදේශයක් තමයි දැනට ඒ සඳහා හඳුනා ගෙන තිබෙන්නේ."

හම්බන්තොට වරාය

ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා කියා සිටියේ වනජීවි සම්පතට අයත් කිසිදු ඉඩමක් සඳහා යොදා නොගැනීමට තීන්දුවක් ගෙන ඇති බවයි.

"අක්කර 15,000ට වඩා අවශ්‍යයි. හම්බන්තොට, මොනරාගල, මාතර, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා ඉඩම් සොයා ගෙන යනවා. වනජීවි එකට අදාළ ඉඩම් මේකට ඇතුළත් නොකරන්නත්, ඒ ප්‍රදේශවල ඉන්න අලි ඇතුන් සඳහා වෙනම කොරිඩෝවක් ඇති කිරීමටත් යෝජනා වී තිබෙනවා."

අදාළ සමාගම් සඳහා ඉඩම් ලබා දෙන්නේ සින්නක්කරව දැයි ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මන්ත්‍රීවරයා එහිදී විමසූ අතර එම අදහස බැහැර කරමින් අගමැතිවරයා කියා සිටියේ දිගුකාලින බදු යටතේ එම ඉඩම් ලබා දෙන බවයි.

කර්මාන්ත පුර සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමට වෙනම අධිකාරියක් පිහිටුවීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇති බවත් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.