ග්‍රේරු සමග සාකච්ඡා ඵලදායකයි

ග්‍රේරු සමග සාකච්ඡා ඵලදායකයි

August 6, 2016   12:19 pm



උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරූ මහතා සමග පැවති පළමු අදියරේ සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල  ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසයි.

අද පෙරවරුවේ මෙම කමිටුවේ නියෝජිතයින් සහ උසස් රාජ්‍ය අමාත්‍යවරයා සමග විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් දැනට ආරම්භ කර ඇති වර්ජනය පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.

කෙසේවෙතත් මේ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේදී ද පැවැත්වීමට සැලසුම් කර ඇතැයි මේ සම්බන්ධයෙන් අද දෙරණ සමග අදහස් දැක්වු විශ්වවිද්‍යාල  ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක කේ.එල්.ඩී.ජී.ඒ.රිච්මන්ඩ් මහතා පැවසීය.

පසුගිය 27 වනදා සිට පැවැත්වෙන වර්ජනය හේතුවෙන් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල සහ ඊට අනුබද්ධ ආයතනවල අධ්‍යයන කටයුතු බිඳවැටී තිබේ.

මේ හේතුවෙන් වර්ජනයට එක්ව සිටින සියළුදෙනා ඊයේ සේවයට වාර්තා කළ යුතු බවත්, වාර්තා නොකරන අය සේවය අතහැර ගියා සේ සලකන බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනුම්දීමක් කර තිබිණ.

එහෙත් එම ඉල්ලීම නොතකා අනධ්‍යයන සේවකයින් ඊයේද වර්ජනයට එක්ව සිටියේය.

මෙම වර්ජනය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව විශ්වවිද්‍යාල සිසුන් පවසයි.

රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම, වසර 60 දක්වා සේවා දිගුවක් ලබාදීම, වැටුපට සාපේක්ෂව හිලව් දීමනා වැඩි කිරීම අනධ්‍යන සේවකයින්ගේ ඉල්ලීම් අතර වේ.