බටහිරට ඕන ලෙස සංස්කෘතිය විනාශ කරනු බෑ-භික්ෂුන් වහන්සේලා සමග එක්ව නැඟී සිටිනවා

බටහිරට ඕන ලෙස සංස්කෘතිය විනාශ කරනු බෑ-භික්ෂුන් වහන්සේලා සමග එක්ව නැඟී සිටිනවා

July 25, 2016   10:46 pm


අද දවසේ වෙනදාටත් වඩා  බටහිර රටවල  ආභාෂයට මේ රට නතුවන කාලයක අපේ රටේ ආගමික ශිෂ්ටාචාරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

එබැවින් ආගම ව්‍යවස්ථානුකූලව ඉවත්කිරීම සුදුසු නැති බව කාදිනල් හිමිපාණන් කියා සිටියේ අද(30)කොළඹ
සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්වුණු අභිනවයෙන් පත්වු අස්ගිරි පාර්ශවයේ  මහානායක වරකාගොඩ ඤාණරතන මහ නාහිමියන් පිළිගැනිමේ උත්සවයට එක්වෙමිනි.

 රටේ බුද්ධාගමට හිමිතැන අප ලබාදිය යුතු බවත්,එය අපේ රටේ ඉතිහාසයට සම්බන්ධ බොහෝ දෙනෙකුගේ අත්දැකීම් වන බවත්,ජීවිතයට සම්බන්ධ අත්දැකීම වන බවත් රංජිත් හිමිපාණන් සඳහන් කළේය.

අනාගමික රාජ්‍යයක් බිහිකරලීම පිළිබඳ සංකල්පය තමන් පිළිනොගන්නා බවද කාදිනල් හිමිපාණන් මෙහිදී පෙන්වාදුන්නේය.

එම නිසාම මහනායක භික්ෂුන් වහන්සේලා සමගින් අපි මේ රටේ ජීවත්වන සෑම කෙනෙකුගේම ආධ්‍යාත්මික උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් බව එම හිමිපාණන් අවධාරණය කළේය.

එලෙසම රටේ සංස්කෘතික උරුමය බටහිර රටවල මානව හිමිකම් කියන අදහසට යටකර සංස්කෘතිය උරුමය පැත්තකට දාන්න හැකියාවක් නැති බවත්,ආගමෙන් තොරව මානව හිමිකම් බිහි නොවන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.

ආගම හොඳන් අදහනවානම්,අප කවුරුත් මානව හිමිකම් ආරක්ෂා කරනවානම්  බටහිර රටවල ඕන විදිහට මානව හිමිකම් මෙහෙට ගෙනවිත් අපට කවන්නට ඉඩකඩක් නැති බවද කාදිනල් හිමිපාණක් කියා සිටියේය.


කාදිනල් හිමිපාණන් එහිදී මෙසේද සඳහන් කළේය.

"ශ්‍රී ලංකාවේ ජීවය ලෙස සැලකෙන්නේ බුදුන් වහන්සේ වදාළ ධර්මයයි. එවැනි ජීවන ක්‍රමයකට හිමි විය යුතු ස්ථානය  හා ගෞරවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් අහිමි නොකළ යුතු දෙයක් ලෙසයි මා දකින්නේ. මේ කාරණය කිසිසේත්ම නොසලකා සිටින්න අපිට බෑ. මක් නිසාද අප ජීවත් වන්නේ බෞද්ධ පරිසරයකින් පෝෂණය වූ රටක නිසා. එම නිසා ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනතාවගේ අධ්‍යාත්මික ගුණ වගාව වෙනුවෙන් මහා සංඝරත්නය සමග කටයුතු කිරීමට අප සූදානම්"