මුරලි හැමදාමත් රට වෙනුවෙන් පෙනී සිටියා - සංගා

කුමාර් සංගක්කාරගේ ට්විටර් පණිවුඩ

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම පිණිස පුහුණුකරුවකු ලෙසින් කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කළ හොත් මුත්තයියා මුරලිදරන් කිසිදු පැකිලීමකින් තොරව එයට එකඟ වනු ඇතැයි කුමාර් සංගක්කාර පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා ඒ බව පවසන්නේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී මුරලිදරන් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ උපදේශකයකු වශයෙන් කටයුතු කිරීම පිළිබඳව එල්ල වන විවේචනවලට ප්‍රතිචාරය පල කරමින්.

මුරලි ඕනෑම කෙනෙකුට උපදෙස් දෙන්නේ ක්‍රීඩාව කෙරෙහි ඔහු තුල පවතින ඇල්ම හේතුවෙන් බවත් කුමාර් සංගක්කාර ට්විටර් පණිවුඩ කිහිපයක් නිකුත් කරමින් පවසයි.

'මුරලි' ඕනෑම වේලාවක රට වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් නමුත් ඒ සඳහා ඔහුගෙන් ඉල්ලීමක් කළ යුතු බවයි, කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු 'සංගා' අවධාරණය කරන්නේ.

මුරලි සහ සංගා
ඡායාරූප ශීර්ෂ වැකිය, "ලංකාවේ ඕනෑම දඟ පන්දු යවන්නෙක් මුරලි ලඟට ඇවිත් පන්දු යැවීම ගැන ඇහුවොත් මුරලි හැකි උපරිම කාලය අරගෙන ඔහුට උපදෙස් දෙනවා"

"ලංකාවේ ඕනෑම දඟ පන්දු යවන්නෙක් මුරලි ලඟට ඇවිත් පන්දු යැවීම ගැන ඇහුවොත් මුරලි හැකි උපරිම කාලය අරගෙන ඔහුට උපදෙස් දෙනවා," සංගක්කාර පවසයි.

එහෙත් ශ්‍රී ලංකාව "බොහොම මහන්සියක් දරල බේරගත්ත" ක්‍රීඩකයකු වන මුරලි සිය ප්‍රතිවාදීන්ට උපදෙස් දීමේ "අපේ කම සහ සදාචාරාත්මක කම" පිළිබඳව ගැටලුවක් පවතින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසා තිබුණේ.

සිය හැසිරීම මගින් මුරලි සිය ප්‍රතිරූපයටම හානියක් කරගන්නා බවත් සභාපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

"අපේ පැත්තෙන් බැලුවම අපිට ලොකු හිතේ අමාරුවක් තියනව."

කෙසේ නමුත් මුරලිදරන් ශ්‍රී ලංකාවට ආදරය කරන "ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍රයෙක්" බව පවසන කුමාර් සංගක්කාර, තමන් කැමති ඕනෑම පුද්ගලයකු පුහුණු කිරීමට ඔහුට අයිතියක් තිබෙන බව අවධාරණය කරයි.