සියැට් සමාගමේ රටවල් තුනක අපනයන ගැනුම්කරුවන් කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවේ සංචාරයක

    July, 17, 2016

    ඉන්දියාවේ සියැට් ලිමිටඞ් සහ කැළණි ටයර්ස් PLCසමාගමේ ඒකාබද්ධ ව්‍යාපාරයක් වන සියැට් ශ‍්‍රී ලංකා සමාගම විසින් ප‍්‍රධාන අපනයන වෙළඳපොළවල් තුනක ගනුදෙනුකරුවන් කණ්ඩායමක් සඳහා පසුගියදා ශ‍්‍රී ලංකාව තුළ දින පහක සංචාරයක් සිදුකිරීමේ අවස්ථාව සලසා දෙන ලදී.

    සමාගම විසින් සිදුකළ ප‍්‍රවර්ධන වැඩසටහනක් වූ මෙම සංචාරය සඳහා පැමිණි විදේශීය ගනුදෙනුකරුවන්ගේ කණ්ඩායමට සිංගප්පූරුවේ ඩක්ස්ටෙරා ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගමේ අලෙවි කණ්ඩායමේ සමාජිකයින් ඇතුළත් වූ අතර මෙම කණ්ඩායමට ෂිවි කල්රා මහතා නායකත්වය දෙන ලදී. මීට අමතරව, මෙම කණ්ඩායමට ඩක්ස්ටෙරා සමාගමේ පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ ගනුදෙනුකරුවන්ගේ නියෝජිතයින්ද ඇතුළත් විය.

    මෙම කණ්ඩායම සියැට් ශ‍්‍රී ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග සාකච්ඡුා කළ අතර කැළණියේ පිහිටි සමාගමේ පුළුල් නිෂ්පාදන සංකීර්ණය නැරඹීමේ අවස්ථාවද මොවුන්ට හිමිවිය. මීට අමතරව, මෙම කණ්ඩායමට, මීගමුව, පින්නවල, කන්ඩලම, සීගිරිය, මින්නේරිය, පොලොන්නරුව සහ මහනුවර යන ප‍්‍රදේශවල සංචාරය කිරීමටද අවස්ථාව උදාවිය.

    ‘‘සිංගප්පූරුව සහ පිලිපීනය සියැට් ශ‍්‍රී ලංකා සමාගමට ඉතාමත් වැදගත් අපනයන වෙළඳපොළවල් දෙකක්. විශේෂයෙන්ම සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් මෙහිදී ප‍්‍රමුඛ වෙනවා’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් ශ‍්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, විජේ ගාම්භීරේ මහතා සඳහන් කළේය. ‘‘අපි මේ වනවිට පීලිපීන, ඉන්දුනීසියානු සහ සිංගප්පූරු වෙළඳ පොළවල් වලට ට‍්‍රක්රථ ටයර් සහ රේඩියල් ටයර් ඉදිරිපත් කිරීම පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා. මෙවැනි ප‍්‍රවර්ධන වැඩසටහන් තුළින් මෙම වෙළඳ පොළවලට අපි විසින් අපනයනය කරන ටයර් ප‍්‍රමාණය වැඩිකර ගතහැකි යැයි අපේක්ෂා කරනවා’’

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ‍්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන සියැට් ටයර් සඳහා ඊජිප්තුව, නයිජීරියාව, ඝානා, මියන්මාරය, පාකිස්තානය සහ ගල්ෆ් රටවල් රැසක හොඳ වෙළඳ පොළක් තිබෙන බවයි. මේ වනවිට, සමාගම විසින් අප‍්‍රිකාවේ සහ ගල්ෆ් කළාපයේ රටවල ෆෝර්ක්ලිෆ්ට් ටයර් සඳහා වෙළඳ පොළක් වර්ධනය කරමින් සිටින බවද ඔහු අනාවරණය කළේය.

    සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් වන ඩක්ස්ටෙරා සකස් කරන ලද පෘෂ්ඨියක් සහිත මාර්ග මෙන්ම පෘෂ්ඨියක් නොමැති මාර්ග සඳහා ටයර් විසඳුම් ඉදිරිපත් කරන සමාගමක් ලෙස කැපී පෙනේ. මෙම සමාගම විසින් ගනුදෙනුකරුවන්ට ගැලපෙන ටයර් මාලාවක් ඉදිරිපත් කරන අතර චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය සහ ශ‍්‍රී ලංකාව යන රටවල සිටින ප‍්‍රමුඛතම සැපයුම්කරුවන් හරහා ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්‍යතාවයන් සපුරාලීමට කටයුතු කරයි.

    සියැට් ශ‍්‍රී ලංකා සමාගම විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් 35% ක් පමණ දකුණු ආසියාව, මැදපෙරදිග, අපි‍්‍රකාව සහ අග්නිදිග ආසියා යන කළාපවල පිහිටි රටවල් 15 ක් වෙත අපනයනය කරයි. දේශීය සහ විදේශීය ඉල්ලූම වර්ධනය වීම හමුවේ සමාගම විසින් මෙරට සිදුකරන රේඩියල් ටයර් නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 800 ක මුදලක් ආයෝජනය කිරීමට සූදානම් බව සියැට් සමාගම මෑතකදී නිවේදනය කළේය.

    ශ‍්‍රී ලංකාවේ රේඩියල් ටයර් වෙළඳ පොළින් 30% ක පමණ ප‍්‍රමාණයක් මේ වනවිට සියැට් සමාගම සතුවන අතර මෙරට ටයර් අවශ්‍යතාවයෙන් අඩක් පමණ සපයන්නේ මෙම සමාගමයි.


    සේයාරුවෙන් දැක්වෙන්නේ සිංගප්පූරුව, පිලිපීනය, ඉන්දුනීසියාව යන රටවලින් පැමිණි ගනුදෙනුකරුවන්ගේ කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු සියැට් කැළණි සමාගමේ උප සභාපති - විකුණුම් සහ අලෙවිකරණ/අපනයන රවී ඩඞ්ලානි මහතා (දකුණේ කෙළවරේ) සහ සමාගමේ නිළධාරීන් පිරිසක් සමග කැළණියේ පිහිටි නිෂ්පාදන පරිශ‍්‍රය නැරඹූ අවස්ථාවයි.