කොට්ලර් ව්‍යාපාරික වැඩසටහන සහ ශ්‍රී ලංකා කොට්ලර් මධ්‍යස්ථානය දියත් කෙරේ

    June, 30, 2016

    ව්‍යාපාර ලෝකය පිළිබඳ අනාගත දැක්මක් ඇති ව්‍යාපාරික නායකයන්ගෙන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගෞරවනීය ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගෙන් සමන්විත ඒකාබද්ධ ව්‍යුහයක් තුළින් පාලනය වන ශ්‍රී ලංකාව තුළ ඇති එකම ව්‍යාපාරික පාසල වන කොළඹ ව්‍යාපාර සහ කළමනාකරණ පාසල (Colombo School of Business Management) උසස් අධ්‍යාපනය, වෘත්තීයමය අධ්‍යාපනය සහ විධායක අධ්‍යාපනය නව නැඹුරුවකට යොමු කරන අතර කාර්ය මණ්ඩල පුහුණුව සහ වෙළෙඳපොළ පර්යේෂණ අවශ්‍යතාවයන් සැපිරීම, වෘත්තීය ප්‍රවර්ධනය සඳහා වන සාකච්ජා සහ සමුළු වලට අවශ්‍ය අනුග්‍රහය සහ ඉඩ පහසුකම් සැපයීම මූලික අරමුණ කරගෙන පිහිටුවා ඇත.

    https://www.youtube.com/watch?v=uhWhwTxcNAs

    කොළඹ ව්‍යාපාර සහ කළමනාකරණ පාසල (Colombo School of Business Management) කොට්ලර් ඉම්පැක්ට් (Kotler Impact) ආයතනය සමග එක්ව "කොට්ලර් ව්‍යාපාර වැඩසටහන" (Kotler Business Programme) ශ්‍රී ලංකාවට හදුන්වාදීම සඳහා එකගතාවට එළැඹ ඇත. එහිදී ශ්‍රී ලංකාව තුළ කොට්ලර් ව්‍යාපාර අධ්‍යාපන වැඩසටහන් ගනනාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අතර එහි ආරම්භය ලෙස අලෙවිකරණ මූලධර්ම (Essentials in Marketing) නැමති වැඩසටහන හදුන්වා දෙනු ඇත.

    කොට්ලර් ඉම්පැක්ට් යනු අධ්‍යාපනය හා පුහුණුව තුළින් තිරසර සංවර්ධනයක් ලගා කර ගැනීම අපේක්ෂා කරන උපාය මාර්ගික අලෙවිකරණය ප්‍රචලිත කිරීම සඳහා ස්ථාපනය කරන ලද ආයතනයයි. කොට්ලර් ඉම්පැක්ට් ආයතනය මගින් "කොට්ලර් ව්‍යාපාර වැඩසටහන" හදුන්වා දෙන අතර එය පුද්ගලයින් තුළ ඇති විභව ශක්තිය උකහා ගැනීමට සහ ව්‍යාපාරයන්හි තිරසර සාර්ථකත්වය ලබා ගැනීම සඳහා නිර්මාණය කොට ඇති ඉතාමත් ඉහළ තලයක වූ අධ්‍යාපනික වැඩසටහනක් ලෙස ජාත්‍යන්තර සම්භාවනාවට ලක්ව ඇත. එය කළමණාකරන සහ අලෙවිකරණ ලොවේ විශිෂ්ඨයෙක් ලෙස සැලකෙන පිලිප් කොට්ලර් සන්නාම නාමය යටතේ ලොව පුරා ප්‍රචලිත එකම ව්‍යාපාරික වැඩසටහනයි. තමාට පහසු අවස්ථාවක ඉගැනීමට හැකි අයුරින් අන්තර්ජාලය ඔස්සේ මෙම වැඩසටහන ඉදිරිපත් කරයි. කොට්ලර් ව්‍යාපාරික වැඩසටහන හා සහයෝගීතාවයෙන් කටයුතු කරන Pearson Education නවෝත්පාදක මාර්ගගත ඉගෙනුම් අත්දැකීම් නිර්මාණය කරමින් මෙම වැඩ සටහන ඉදිරිපත් කිරීම සඳහා වේදිකාව සපයනු ඇත.

    "කොට්ලර් ව්‍යාපාර වැඩසටහන" ආරම්භක පාඨමාලාව වන අලෙවිකරණ මූලධර්ම (Essentials in Marketing) සති 06ක (පැය 32ක) පාඨමාලාවක් ලෙස හදුන්වා දී ඇති අතර එය 20 දෙනෙකුගෙන් යුතු කණAඩායම් ලෙස ලියාපදිංචි කර ගනී.

    මෙම වැඩසටහනේ ඇති වැදගත්කම වනුයේ එය අලෙවිකරුවන්ට පමණක් සීමා නොවූ ඕනෑම අයෙකුට කලමණාකරනය හා අලෙවිකරණය පිළිබඳ විශිෂ්ඨ වූ දැනීමක් ලබා ගැනීමට හැකියාව උදාකරදීමයි. එමෙන්ම මහාචාර්ය පිලිප් කොට්ලර් වැනි විශිෂ්ඨයකුගෙන්ම අලෙවිකරණය හැදෑරීමට ලැබීම, ජාත්‍යන්තරව පිළිගත් ගෝලීය වටිනාකමක් ඇති සුදුසුකම් ලබා ගැනීම මින් ලබා ගත හැකි විශිෂ්ඨ ප්‍රතිලාභ වේ. තවද මෙම වැඩසටහන හා එක් වීමෙන් කොට්ලර් ඇලුම්නිජාලය (Alumini) හා එක්වීමටද අවස්ථාව ලැබේ.

    මෙම විශ්ව ව්‍යාප්ත වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ආරම්භ කොට පවත්වා ගෙන යාම සඳහා කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසල සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වය ලබා දීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් වී ඇත.

    මේ හැරුණු විට “කොට්ලර් ව්‍යාපාර වැඩසටහන“ සහ කොට්ලර් ඉම්පැක්ට් ආයතනය කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසල සමඟ ඇතිකර ගන්නා හවුල්කාරිත්වය විශ්වව්‍යාප්ත අධ්‍යාපනය ගවේෂණය සඳහා ගෝලීය අවස්ථා උදාකර ගැනීම සහ දැනුම හුවමාරු කරගැනීම වැනි අවස්ථා සඳහා ශ්‍රී ලංකාව තුළ කොට්ලර් මධ්‍යස්ථානයක් ඇති කිරීමට ද කටයුතු කරයි.

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයෙහි විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසල හා Kotler Impact සහයෝගීතාවය කටයුතු කරනු ඇත.