මෛත්‍රීපාල ආගමනයෙන් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවත් තරවෙලා

මෛත්‍රීපාල ආගමනයෙන් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවත් තරවෙලා

June 17, 2016   10:38 am



මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති වූ පසුව ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වෙමින් ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ සිංහා මහතා පවසයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඇරඹී "21 වන සියවසේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව" මැයෙන් වන සම්මන්ත්‍රණයකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවීමෙන් අනතුරුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ සංචාර ද වැඩි වී ඇති බව ඒ මහතා කීවේය.

එසේම 1987න් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ලෙස න‍රේන්ද්‍ර මෝඩි  ශ්‍රී ලංකාවට පැමිණි බව පෙන්වාදෙන ඒ මහතා 2015 ජනවාරියෙන් පසු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දෙවතාවක්ද,
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ සැප්තැම්බර් මස ද ඉන්දියාවේ සංචාරය කළ බව ඒ මහතා පැවසීය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වාණිජ සම්බන්ධතාවයද වැඩි  වී ඇති බව පෙන්වාදුන් ඒ මහතා
1999 වසරේදී දෙරට අතර ඇති කරගත් නිදහස් වෙළඳ ගිවිසුමෙන් පසුව ශ්‍රී ලංකාවේ අපනයනය 13 ගුණයකින් වර්ධනය වී ඇති බවද හෙතෙම පෙන්වාදුන්නේය.