UPDATE:ගින්න නිවන්න කඩිනම් පියවර-නිරීක්ෂණයට යානයක් ගුවන් ගත කරයි!

UPDATE:ගින්න නිවන්න කඩිනම් පියවර-නිරීක්ෂණයට යානයක් ගුවන් ගත කරයි!

June 5, 2016   08:42 pm



කොස්ගම, ශාලාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරේ, අවි ගබඩාවේ ඇති වූ හදිසි ගින්න මැඩ පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර මේ වන විට ගෙන ඇති බව හමුදාපතිවරයා පවසයි.

ඔහු සඳහන් කළේ කොස්ගම ශාලාව සිට කිලෝ මීටර 3 ක්  ඇතුළත පදිංචිකරුවන්ට එම පෙදෙස් වලින් ඉවත් කිරීමට කඩිනම් පියවරද ගත් බවයි.

ත්‍රිවිද හමුදා සහය ඇතිව එම ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගිය බව ඒ මහතා පවසයි.

එමෙන්ම ගින්න ඇති වූ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා යානයක් ගුවන් ගත කර ඇති බවද වාර්තා වෙයි.

මේ වන විට එම නිරීක්ෂණ කටයුතු ආරම්භ වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ ඇතුළු අවශ්‍ය සියලුම පියවර මේ වන විට සිදු කරමින් පවතින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙම ප්‍රදේශය අවට ඉවත් කරනු ලැබූ ජනතාවගේ නිවෙස්වල ආරක්ෂාව ත්‍රිවිද හමුදාව විසින් සපයන බවද ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ නිසාවෙන් එම ජනතාවට බියෙන් සැකෙන් තොරව ආරක්ෂිත ස්ථාන තුළ සිටින ලෙසත් ඔවුන්ගේ නිවෙස් වලට අවශ්‍ය ආරක්ෂාව ත්‍රිවිද හමුදාව විසින් ලබා දෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ සියලු පාසල් හා රාජ්‍ය ආයතන හෙට(06) දිනයේ වසා තැබෙන බවද වාර්තා වෙයි.

එමෙන්ම මේ වන විට ගින්න තරමක් දුරට මැඩ පැවැත් වී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.