තායිලන්ත-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුමක් කිහිපයක්

තායිලන්ත-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුමක් කිහිපයක්

March 10, 2016   08:39 am


සංචාරක හා වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කර තිබේ.

මෙරට සංචාරයක නිරත වන තායිලන්න නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සොමිකිඩ් ජතුශ්‍රීපිතක් මහතා සහ රජය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති බව වාර්තා වේ.

නිල සංචාරයක් සඳහා පසුගිය 8 වන දින දිවයිනට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලබන 12 වන දින දක්වා මෙරට රැදී සිටීමට නියමිතය.

තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

ඊට අමතරව ඔහු කැලණිය රජ මහාවිහාරය, මහනුවර, අනුරාධපුර ඇතුළු බෞද්ධ ආගමික උරුමයන් සහිත ස්ථාන දැකබලාගැනීමට නියමිත බව  විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

මේ අතර බහරේන් රාජකීය කුමරු සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර තෙල්,ගෑස් සහ ගුවන් සේවා සම්බන්ධ ආයෝජන පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පවත්වා තිබේ.

ෂෙයික් සල්මාන් බින් කලීෆා අල් කලීෆා කුමරු සමඟ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදුකිරීමට ඇති හැකියාව සහ ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

දෙරට අතර දැනට පවතින ආර්ථික සහයෝගීතාවයට අදාළ ක්‍රියාකාරකම් පහසු කරවීම සදහා ශ්‍රී ලංකාව තුල බහරේන තානාපති කර්යාලයක් ස්ථාපිත කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ.