අහෝසි කළ වාහන බලපත්‍රය ඉල්ලා වෛද්‍ය වර්ජනයක්

නිලධාරීන්ට වාහන බලපත්‍ර වෙනුවට මූල්‍යමය දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය,

නිලධාරීන්ට වාහන බලපත්‍ර වෙනුවට මූල්‍යමය දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි

මේ වසරේ අයවැය යෝජනා මගින් අහෝසි කරන ලද රජයේ සේවකයන්ට ලබාදෙන වාහන බලපත්‍ර නැවත ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එක් දින වැඩවර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

බ්‍රහස්තින්දා පෙරවරු අටේ සිට දිවයිනේ සියලුම රෝහල්වල වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

"වෛද්‍යවරුන්ට මෙතෙක් හිමිව තිබූ පහසුකම් අයවැයකින් අහෝසි කිරීම," සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවීමට හේතුව බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අයවැය සම්මත වීමට පෙර මේ තත්වය නිරාකරණය කර ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ බදාදා පැවති සාකච්ඡාවට අමාත්‍යවරයා දැක්වූ යහපත් ප්‍රතිචාරය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනු ඇතැයි යන්න සංගමයේ බලාපොරත්තුව බවත් නිවේදනයේ සඳහන්.

බ්‍රහස්පතින්දා සවස හතර වන තෙක් වැඩවර්ජනයේ යෙදීමට දැනට තීරණය කර තිබෙන අතර, එයට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මත ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවත් සංගමයේ ප්‍රකාශකයෙක් බීබීසී යට පැවසීය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද බදාදා පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ එම නිලධාරීන්ට වාහන බලපත්‍ර වෙනුවට මූල්‍යමය දීමනාවක් ලබාදීමට රජය කටයුතු කරන බවයි.