වියපත් පත්‍ර කලාවේදීන් වෙනුවෙන් 'අරමුදලක්'

සම්මානලාභීන්ට පිදුණු ත්‍යාග අතර ඔවුන්ගේම උඩුකය චිත්‍රයක්ද විය
ඡායාරූප ශීර්ෂ වැකිය, සම්මානලාභීන්ට පිදුණු ත්‍යාග අතර ඔවුන්ගේම උඩුකය චිත්‍රයක්ද විය

වියපත් ප්‍රවීන පත්‍ර කලාවේදීන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් විශේෂ අරමුදලක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පත්‍ර කළා සංවිධානය පවසයි.

සංගමයේ ක්‍රියාකාරී සාමාජික තිලක් සේනානායක ඒ බව කියා සිටියේ සිය හැට වැනි සංවත්සරය නිමිත්තෙන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් දස දෙනකුට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

"අපි හිතනවා ඒකට අපිට රාජ්‍ය අනුග්‍රහයත්, ගරු ජනාධිපතිතුමාගේත්, ජනමාධ්‍ය ඇමැතිතුමාගේත් සහාය උපරිම ලෙස ලැබෙන බව අපේ විශ්වාසයයි," ඔහු පැවසීය.

වයෝවෘද්ධ පත්‍ර කලාවේදීන්ට උපකාර කිරීමේ එම වැඩපිළිවෙලට සියලු ශ්‍රී ලංකාවාසීන්ගේ සහාය බලාපොරොත්තු වන බවත් තිලක් සේනානායක සඳහන් කළේය.

සම්මානලාභීන්ගෙන් කොටසක්
ඡායාරූප ශීර්ෂ වැකිය, සම්මානලාභීන්ගෙන් කොටසක්

අශෝක තිලකරත්න, එල්මෝ ප්‍රනාන්දු, අනුලා ද සිල්වා, ශ්‍රියා රත්නකාර, ආචාර්ය ලලිතා සිරිබද්දන, සුනිල් මාධව ප්‍රේමතිලක, යටියන පුෂ්පකුමාර, සිරිල් විමලසුරේන්ද්‍ර, එස් නඩරාජා අයියර් සහ චින්තන ජයසේන යන ප්‍රවීන මාධ්‍යවේදීහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී සම්මාන ලැබූහ.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුන උත්සවයට සමස්ත ඉන්දීය මිත්‍රත්ව මාධ්‍ය සම්මේලනය නියෝජනය කරමින් ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක් සහභාගිවීමත් විශේෂත්වයක්.

2015 දී සිය හැට වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා පත්‍ර කළා සංගමය 1955 දී නිර්මාණය කරන ලද්දේ ඩීඑෆ් කාරියකරවන, ධර්මසිරි ජයකොඩි, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ඇතුළු ප්‍රවීන මාධ්‍යවේදීන් සහ උඩකැන්දවල සිරි සරණංකර නාහිමියන් ඇතුළු පිරිසක් විසින්.