'සේයා' දැරිය වෙනුවෙන් උතුරේ දමිළ ජන හඬ

  • දිනසේන රතුගමගේ
  • වවුනියාවේ සිට

දෙමළ හෝ සිංහල හෝ කවර ජන වර්ගයකට වුවද අයත් ළමුන් සහ කාන්තාවන්ට එරෙහිව සිදු කෙරෙන අපචාරවලට එරෙහිව අද (23) මුලතිව් නගරයේ මහජන උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කෙරුණි.

මුලතිවු දිසාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වුන එම උද්ඝෝෂණයට කාන්තාවන් සහ පාසල් ළමුන් ඇතුළත් දහසකට අධික පිරිසක් සහභාගී වූහ.

මුලතිවු දිස්ත්‍රික් කාන්තා සංවර්ධන හා පුනරුත්ථාපන සංවිධානය විසින් දියත් කළ එම උද්ඝෝෂණයට සහභාගිවූවන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ කවර හෝ පළාතක ළමයින්ට හා කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර වෙනුවෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි.

ගතවූ මාස අටක කාලය තුළ උතුරු ප්‍රදේශයේ ළමා හා කාන්තා අතවර සිද්ධීන් විසි තුනක් වාර්තා වී ඇතත් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ එකොළහක් සම්බන්ධයෙන් පමණක් බවද ඔවුහු පෙන්වා දුන්හ.

විද්‍යා සහ සේයා

උතුරේ විද්‍යා නම් පාසල් ශිෂ්‍යාවත්, දකුණේ සේයා දැරියත් දූෂණය කොට මරා දැමූ සැකකරුවන් ඉදිරි කාලයේදී ඇප මත මුදා හරිනු ලැබ තවත් වසර කීපයකට පසු ඔවුන් නඩු විභාග වලින් ද නිදහස ලැබ යළිත් සමාජයට ප්‍රවිෂ්ඨ වුනොත් එය අතිභයානක තත්ත්වයක් ලෙසයි මුලතිවු කාන්තා සංවිධානය පෙන්වා දෙන්නේ.

එවැනි අපරාධ සිදු කරන පුද්ගලයන්ට දැඩි දඩුවම් ලබාදිය යුතු අතර ,කාන්තාවන්ට හා ළමුන්ට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කරමින් ඔවුන් ආරක්ෂා කිරීමට ස්ථිරසාර වැඩපිළිවෙලක් රජය විසින් පියවර ගත යුතු බවයි මුලතිවු කාන්තා සංවිධානය විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපියක් මගින් ඉල්ලා සිටින්නේ.

ජනාධිපතිට ලිපියක්

ජනාධිපතිවරයාට ඉදිරිපත් කෙරෙන එම ලිපිය මුලතිවු දිසාපතිනි රූපවතී කේතීස්වරන් වෙත බාරදුන් අතර එය පාසල් ශිෂ්‍යාවක් අතින් දිසාපතිවරියට බාරදීම විශේෂ අවස්ථාවක් වුණි.

ළමුන් සහ කාන්තාවන් සාපරාධී ලිංගික අතවර වලට ගොදුරුවීමෙන් පසු ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන අන්දමට කටයුතු කිරීමට නීතිරීති සම්පාදනය කළයුතු යයි කියා සිටින මුලතිවු කාන්තා සංවිධානය, එවැනි අපරාධ නඩු විභාග කිරීම සඳහ විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙසත් දැනට නියම කෙරෙන ලිහිල් දඩුවම් වෙනස් කොට ඒ සඳහා දැඩි දඬුවම් නිර්දේශ කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

වපර ඇසින්

යාපනයේ විද්‍යා සිසුවිය වෙනුවෙන් දකුණේ ජනතාව
ඡායාරූප ශීර්ෂ වැකිය, යාපනයේ විද්‍යා සිසුවිය වෙනුවෙන් දකුණේ ජනතාව

උද්ඝෝෂණයට සහභාගි වූවන් තවදුරටත් කියා සිටියේ උතුරු ප්‍රදේශයේදී කාන්තාවන් හා ළමුන් ලිංගික අතවර වලට ගොදුරු වූ විට විට දකුණ් ඇතැම් පිරිස් සහ ඇතැම් ජනමාධ්‍යය ඒ දෙස වපර ඇසකින් බලන බවයි.

එවැනි සිද්ධීන් වාර්තාකරණයේදී ජනමාධ්‍ය ආයතන ජාතිකත්වය සැලකිල්ලට ගන්නා බව පෙන්වා දුන් මුලතිව් උද්ඝෝෂකයෝ යාපනයේ විද්‍යා සිසුවිය දූෂණය කොට මරාදැමීමේ සිද්ධියේදී පමණක් එවැනි තත්ත්වයක් දක්නට නොලැබීම වාසනාවක් වූ බවයි කියා සිටියේ.