ජවිපෙන් බලපෑමක් වුණේ නෑ - ජනමතයට හිස නමා ඉල්ලා අස්වුණා
September 3, 2015 10:36 am
තමාට හිමි ජාතික ලැයිස්තු මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වීමට ජවිපෙන් අබමල් රේණුවක තරම් හෝ බලපෑමක් එල්ල නොවුණු බව එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රී, හිටපු විගණකාධිපති එස්.මායාදුන්න මහතා පවසයි.
තමා කෙරෙහි විශ්වාසය තබමින් තමන් විසින් ගෙන ගිය දූෂණ විරෝධී අරගලය පාර්ලිමේන්තුවටත් ගෙන ඒමට පක්ෂයේ පිටස්තරයෙකු වන තමාට ඒ සඳහා අවස්ථාවක් ලබාදීමත් පිළිබඳ ජවිපෙට තම කෘතඥතාව පළකරන බවද ඔහු සඳහන් කළේය.
අද (03) පාර්ලිමේන්තුවේදී තම ඉල්ලා අස්වීමට හේතු දක්වමින් විශේෂ ප්රකාශයක් කළ මායාදුන්න මහතා කියා සිටියේ ජවිපෙ මේ මොහොතේද තමාගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් මන්ත්රී ධූරයේ රැඳී සිටින බව යයි පෙන්වා දුන්නේය.
එසේ වුවද 'දූෂණයෙන් තොර රටක්'දැකීමේ තම අභිලාෂයන් මෙන්ම දූෂණයට එරෙහිව දිගින් දිගටම කටයුතු කළ පක්ෂයක් ලෙස ජවිපෙට අපේක්ෂා කළ තරමට පසුගිය මහ මැතිවරණයෙන් එම ප්රතිපත්ති සඳහා ජනතා අනුමැතියක් ලැබී නොමැති බව ඔහු අවධාරණය කළේය.
ඒ නිසාම ජාතික ලැයිස්තුවෙන් නම් කරන ලද තමන් වැනි උගත් බුද්ධිමතුන්ද ජනතාව විසින් ප්රතික්ෂේප කර ඇති බැවින් ජනතා මතයට හිස නමා තමන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මායාදුන්න මහතා පෙන්වා දුන්නේය.
රාජ්ය සේවය දේශපාලනීකරණයෙන් ගලවාගැනීමටත්, රාජ්ය සේවය ආරක්ෂා කරලීමටත් බොහො කැපවීම් කරනු ලැබූ ජවිපෙට රාජ්ය සේවකයින්ගේ ඡන්දය වන තැපැල් ඡන්ද භාවිතයේදී හෝ අනුමැතිය ලබානොදුන් බවත්, ප්රකාශිත තැපැල් ඡන්ද ප්රතිශතයෙන් ජවිපෙට ලැබුණේ 7.5% ක් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.
එබැවින් ජනතාව අනුමත කර ඇත්තේ දූෂණ විරෝධීන් නොව දූෂකයින් බැවින් ඉතා ප්රජාතන්ත්රවාදී ලෙස ජනතා මතයට ගරු කරමින් තමන් ඉල්ලා අස්වන බව ඔහු පෙන්වා දුන්නේය.
තමාගෙන් හිස්වන මන්ත්රී ධූර පුරප්පාඩුව සඳහාද තමා වැන්නෙකු මිස නුසුදුස්සෙකු පත්කරනු ඇතැයි කිසිසේත්ම විශ්වාස නොකරන බවත්, චෝදනා නොලද, දූෂණ විරෝධී, උගත් බුද්ධිමතුන් බොහෝ පිරිසක් ජවිපෙ සතු බවත් මායාදුන්න මහතා කියා සිටියේය.