සනත් ඉල්ලා අස්වීම: 'අපේ බලපෑමක් නැහැ'

  • තිසර අරවින්ද රතුවිතාන
  • බීබීසී

සනත් ජයසුරිය ඇතුළු ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉල්ලා අස්වීම සිදු වූයේ තමන්ගේ කිසිදු බලපෑමකින් තොරව බව ක්‍රීඩා ඇමතිවරයා සහ අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයා බීබීසීයට ප්‍රකාශ කරති.

ඔවුන්ගේ නිල කාලය ලබන තිස් වැනිදා වන විට අවසන් වීමට නියමිත හෙයින් ඉල්ලා අස්වීම සාමාන්‍ය දෙයක් බවයි ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක කියා සිටියේ.

මීළඟ තේරීම් කමිටු සභාපතිවරයා පත් කිරීම සඳහා ඇමතිවරයා හැටියට තමා මැදිහත් නොවන බවත් ඒ සඳහා සුදුසු ම පුද්ගලයා පත් කර ගැනීමට පාලක කමිටුවට නිදහස තිබෙන බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් සනත් ජයසුරිය වෙනුවට මීළඟට පත් වන තේරීම් කමිටු සභාපතිවරයා පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවයි බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසීමකදී අතුරු පාලක මණ්ඩලයේ සභාපති සිදත් වෙත්තමුණි කියා සිටියේ.

හිටපු පාලක මණ්ඩලයට එල්ල වී ඇති චෝදනා පිළිබඳව කළ විමසීමේදී සිදත් වෙත්තමුණි කියා සිටියේ තමාගේ අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා පමණක් බවයි.

පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී යම් පසු බෑමකට ලක් වූ බව පිළිගන්නා නමුත් විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා හිටපු තේරීම් කමිටුවෙන් සිදුවූ සේවය අගය කරන බවයි ක්‍රීඩා ඇමතිවරයා මෙන්ම සභාපති සිදත් වෙත්තමුණි ද බීබීසීයට කියා සිටියේ.

සාකච්ඡා දෙකෙහි ම හඬ පට අමුණා ඇත.