ලංකාවට එරෙහි සම්බාධක තර කිරීමේ වෑයමක්

බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශයේ පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සභාපති රිචඩ් ඔටවේ
ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශයේ පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සභාපති රිචඩ් ඔටවේ

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විදේශ අමාත්‍යංශයේ තේරීම් කාරක සභාව ශ්‍රී ලංකාවට එරෙහිව වෙළඳ සම්බාධක පැනවිය යුතු බවට නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සිදු කෙරිනැයි පවසමින් චෝදනා එල්ල වී ඇති යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් නිර්දේශ කරන ලද ජාත්‍යන්තර විමර්ශන වලට සහයෝගය නොදැක්වීම සහ දිගින් දිගටම සිදු කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සැලකිල්ලට ගනිමිනුයි එම නිර්දේශය කරනු ලැබ තිබෙන්නේ .

තේරීම් කාරක සභාව පවසන්නේ ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ රටවල් සමග කරන වෙළඳ ගනුදෙනු වලදී සපයන GSP තීරු බදු සහන ඉවත් කළ යුතු බවයි.

එම කමිටුවේ සභාපති රිචඩ් ඔටවේ බීබීසිය සමග සාකච්ඡාවකට සහභාගී වෙමින් කියා සිටියේ එම වාර්තාව පිළිගත යුතු බවට නියමයක් නැතත් මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන බව තම විශ්වාසය බවයි.

'වාර්තාවට දෙමළ සංවිධාන වල බලපෑමක් නැහැ'

සිය කමිටු වාර්තාව පිළිගෙන බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීම වෙනුවෙන් යුරෝපා සංගමය තුළ හඬක් නගන බව තමන් විශ්වාස කරන බවත් රිචඩ් ඔටවේ තව දුරටත් කියා සිටියි.

ඉන්දියාව, ඔස්ට්‍රේලියාව වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් එම තීරණය වෙනුවෙන් සහයෝගය දක්වා නොමැති නිසා බ්‍රිතාන්‍ය රජය මෙම තීන්දුවේ දී තනි වී නොමතිදැයි සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තේරීම් කමිටුවේ සභාපතිවරයා පැවසුවේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් යුරෝපා සංගමයේ සාමාජික රටවල් නොවුනත් ඉන්දියාව වැනි රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි වෙළඳ ප්‍රතිපත්තියක් ගෙන යාමට පෙළඹවීම් කළ හැකි බවයි.

තේරීම් කමිටුවේ වාර්තාව සැකසීමට කිසිදු දෙමළ සංවිධානයකින් හෝ පුද්ගලයන්ගෙන් සාක්ෂි ලබාගෙන නොමැති බව පැවසු සභාපතිවරයා තොරතුරු මුලාශ්‍ර ලෙස නම් කළේ ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට් වොච් නම් ජාත්‍යන්තර සංවිධානයි.