‘රනිල්ට කොටි ලේබල් ගැසීම බංකොළොත් දේශපාලනයක් ’- එජාප

‘රනිල්ට කොටි ලේබල් ගැසීම බංකොළොත් දේශපාලනයක් ’- එජාප

එක්සත් ජාතික පක්ෂයට හා එහි නායක රනිල් වික්‍රමසිංහට කොටි ලේබලය ඇලවීමේ අසාර්ථක හා බංකොලොත් උත්සාහයක ආණ්ඩුව නියැලී සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

යුරෝපා කොමිසම විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් හැටියට ලැයිස්තු ගත කිරීමේ දී අනුගමනය කරනු ලැබ ඇති ක්‍රියා පටිපාටිය යුරෝපා අධිකරණය විසින් පසුගිය දා ප්‍රශ්න කළ අතර එය කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමක් හැටියට වැරදි ආකාරයට හඳුන්වා දෙමින් ආණ්ඩුව මහජනතාව මුලා කරන බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

යුරෝපා අධිකරණය ‘එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ මැදිහත් වීමෙන් කොටි සංවිධානයේ තහනම ඉවත් කළ බවක්’ ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් ප්‍රකාශ කළ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂත් එවැන්නක් හැඟී යන ප්‍රකාශයක් කර තිබුණි.

අද කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක කියා සිටියේ, මැතිවරණ අවස්ථාවක දී පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මේ ආකාරයට එක්සත් ජාතික පක්ෂයට කොටි ලේබලය ඇලවීමට ආණ්ඩුව හැම විටම කටයුතු කර ඇති බවයි.

ලේබල් ගැසීම

යුරෝපා අධිකරණයේ ඉහත කී තීන්දුවට රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බව පැවසෙන පෝස්ටරයක් රට පුරා අලවා ඇති අතර "යුරෝපා සංගමය LTTE තහනම ඉවත් කරයි, රනිල් යුරෝපයෙන් වැඩ අරඹයි " යනුවෙන් එහි දැක්වෙයි.

" ජනතාවට දුන්න බොරු පොරොන්දු ගැන කතා කරන්න බැරි තැන දැන් ආණ්ඩුව අර සුපුරුදු බොරු කොටි තැටිය වාදනය කිරීම ආණ්ඩුව ආපහු අරම්භ කරලා, හන්දියක් හන්දියක් ගානේ මඩ පෝස්ටර් ගසමින්, එක්සත් ජාතික පක්ෂයට කොටි ලේබල් ඇලවීමේ අසාර්ථක උත්සාහයක ආණ්ඩුව යෙදී සිටිනවා" පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

“කොටි තහනම ඉවත් කිරීම පිටුපස සිටි විපක්ෂ දේශපාලනඥයා කවුද” යන මාතෘකාව යටතේ ලිපියක් පසුගිය දහනව වන දා රජයේ සිළුමිණ පුවත්පතේ පළ කර තිබුණ අතර “රනිල් ලන්ඩනයේ දී කොටි ඩයස්පෝරාව සමඟ බර කථාවක” යන ශීර්ෂයක් යටතේ ඡායාරූපයක් ද එහි පළ කොට තිබුණි.

එම ඡායාරූපයේ සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ලන්ඩන් ශාඛාවේ නිලධාරීන් බව පවසන එක්සත් ජාතික පක්ෂය එම අසත්‍ය වාර්තාව සම්බන්ධයෙන් සිළුමිණ පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ප්‍රකාශ කොට ඇත.

සිළුමිණට එරෙහිව

යුරෝපා අධිකරණයේ තීන්දුවට එරෙහිව රාජතාන්ත්‍රික හා නීතිමය මට්ටමින් කිසිදු ක්‍රියා මාර්ගයක් නො ගත් ආණ්ඩුව දැන් තම නොහැකියාව වසන් කර ගැනීමට දැන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරන බවයි ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පවසන්නේ.

යුරෝපා අධිකරණය විසින් දෙන ලද තීන්දුව සමාජ මාධ්‍ය තුළත් සාකච්ඡාවට ලක් වෙමින් පවතී.

ආණ්ඩුවේ පෝස්ටරය පිළිබඳව ‘ට්විට්ර්’ පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ සිටින ජාත්‍යන්තර මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කළේ ,2015 ජනාධිපතිවරණයේ නිල ප්‍රචාරක කටයුතු එකී පෝස්ටරයත් සමග ආරම්භ කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ තවත් දේශීය නාලිකාවක මාධ්‍යවේදියෙක් අදහස් දක්වමින්, ‘ඇමෙරිකාවේ ජනාධිපතිවරයාට ද බලපෑම් කල නොහැකි යුරෝපයේ අධිකරණ කටයුත්තකට ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකයාට බලපෑම් කළ හැකි නම් ඔහු ලෝකයේ බලගතුම නායකයෙකු’ බවයි පවසන්නේ.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යුරෝපා අධිකරණ තීන්දුව සමඟ සම්බන්ධ කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පිළිබඳව මාධ්‍ය හමුවක දී සුසිල් ප්‍රේමජයන්ත් ඇමතිවරයාගෙන් විමසූ විට ඇමතිවරයා කියා සිටියේ ‘ එක්සත් ජාතික පක්ෂයේ පිළිවෙත එය වන අතර අලුතින් ඔවුන් ඊට සම්බන්ධ කිරීමක් අනවශ්‍ය’ බවයි.