සනත් ජයසූරිය ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවෙකු තෝරා ගැනීම සඳහා පත් කළ කමිටුවෙන් සනත් ජයසූරිය ඉල්ලා අස් වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මගින් ජාතික කණ්ඩායමට පුහුණුකරුවෙකු තෝරා ගැනීම සඳහා ඉහත කී කමිටුවක් පත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරියට අමතරව නිශාන්ත රණතුංග, ජයනන්ද වර්ණවීර, ඩුෂාන් සොසා, හිරන්ත පෙරේරා, රංජිත් ප්‍රනාන්දු හා ශම්මි ද සිල්වා යන සෙසු සාමාජිකයෝ එම කමිටුවට ඇතුළත් වූහ.

ඉල්ලා අස්වීමේ තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති සනත් ජයසූරිය ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාසට විද්‍යුත් තැපෑල මගින් දන්වා ඇති බවයි ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා සංස්කාරක චන්නක ද සිල්වා සංදේශයට කියා සිටියේ.

මාවන් ?

ජාතික පුහුණුකරුවෙකු තෝරා ගැනීම සඳහා වූ කමිටුව රැස් වූ අවස්ථාවේ සනත් ජයසූරිය සහ ශම්මි ද සිල්වා එහි නොසිටි බව චන්නක ද සිල්වා වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර මීට පෙර තෝරා ගත් අයදුම්කරුවන් නව දෙනෙකු අතරින් මාවන් අතපත්තු සහ තවත් අයදුම්කරුවෙකු අවසන් වටය සඳහා තෝරා ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

පුහුණුකරුවෙකු තෝරා ගැනීමේ කමිටුව තුළ තම වෘත්තීය කර ගෙන යෑමේදී එල්ල වූ බාහිර පීඩන හේතු කොට ගෙන සනත් ජයසූරිය ඉල්ලා අස්වීමට තීරණය කළ බවට විශ්වාස කෙරේ.

සනත් ජයසූරියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය විසින් භාර ගෙන තිබේද යන්න මේ වන තෙක් පැහැදිලි වී නොමැත.