අධ්‍යාපන චාරිකාව අතරතුර මන්ත්‍රී පාසල් සිසුන් 7ක් අපයෝජනය කරලා

අධ්‍යාපන චාරිකාව අතරතුර මන්ත්‍රී පාසල් සිසුන් 7ක් අපයෝජනය කරලා

September 12, 2014   09:44 am

අධ්‍යාපන චාරිකාවක නිරත වූ පාසල් සිසුන් 07 දෙනෙකු අපයෝජනය කළ බව කියන වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි.

සැකකාර මන්ත්‍රීවරයා විසින් අපයෝජනය කර ඇත්තේ වනාතවිල්ලුව - කරතිව් ප්‍රදේශයේ පාසලක පිරිමි දරුවන් පිරිසක් බව අනාවරණය වී ඇතැයි විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීන් පවසයි.

වනාතවිල්ලුව - කරතිව් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පාසලක 9,10,11,සහ 12 යන වසර පන්ති වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් පසුගිය 02 වැනිදා අධ්‍යාපන චාරිකාවක් සඳහා ගොස් ඇත.

මාතර,ගාල්ල,හම්බන්තොට ප්‍රදේශයට ගොස් ඇති මෙම චාරිකාවට පාසල් සිසුන් 53 ක්, සිසුවියන් 35 ක්, ගුරුවන් 05 ක්, ගුරුවරියන් 06 ක් සහ පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකයින් 03 දෙනෙකු සිටි බව සඳහන්ය.

සැකකාර මන්ත්‍රීවරයාද අධ්‍යාපන චාරිකාවට එක්වූ පාසල් සංවර්ධන කමිටු සාමාජිකයෙකි.

මෙම පිරිස පළමු දින එනම් පසුගිය 02 වැනිදා රාත්‍රීය ගත කර ඇත්තේ වැලිගම - කප්පල්තුරේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකය.

එම දේවස්ථානය තුළදී සැකකාර මන්ත්‍රීවරයා පාසල් සිසුන් 07 දෙනාට අවස්ථා කීපයකදී අපයෝජනය කර ඇති බව පොලීසිය කියයි.

සැකකරු විසින් සිදු කර ඇති ක්‍රියාව සම්බන්ධයෙන් දැන ගෙන ඇති අයෙකු මේ බව පුත්තලම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දන්වා තිබේ.

ඒ අනූව පොලිස් අධිකාරීවරයාගේ නියෝගය පරිදි වනාතවිල්ලුව පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශනයකදී සැකකරු මෙම අපරාධය සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.