වැඩි වැටුප් ඉල්ලා කොළඹ උද්ඝෝෂණ

වැඩි වැටුප් ඉල්ලා කොළඹ උද්ඝෝෂණ

සේවක වැටුප් වැඩි කිරීම ඇතුළු සේවක අයිතීන් තහවුරු කරන මෙන් රජයට බල කරමින් උද්ඝෝෂණයක් අද (බදාදා) පැවැත් වුනි.

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැස් වූ වෘත්තීය සමිති 34 කට අයත් සේවක සේවිකාවෝ සිය ගණනක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියෝය.

උද්ඝෝෂණයේ දී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් කියා සිටියේ වත්මන් රජය 2006 වසරින් පසුව මෙතෙක් රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමක් සිදු කර නොමැති බවයි.

'දීමනා පමණයි'

‘රජය 2006 වසරින් පසුව වැටුප් වැඩි කිරීමක් කර නැහැ. සිදුකර තිබෙන්නේ දීමනා එල්ලිමක් පමණයි. ඉන් සේවකයින්ගේ මුලික වැටුප වැඩි වීමක් සිදුවන්නේ නැහැ.’’ ඔහු චෝදනා කරයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අදහස් දක්වමින් රජය දේශපාලන වාසි අපේක්ෂාවෙන් වැටුප් වැඩි කරන බවට දෙන පොරොන්දු ඉටු නොකරන බවට චෝදනා කළේය.

‘වැටුප් වැඩි කරන බවට රජය කිහිප විටකම පොරොන්දු ලබා දුන්නා. එහෙත් ඒවා ඉටු කළේ නැහැ. රජයට අවශ්‍ය තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම පමණයි.’ ඔහු චෝදනා කරයි.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ධර්මසිරි ලංකාපේලි අදහස් දක්වමින් රජය දැන් ජීවන අංකය ගැසට් කිරීම නතර කර ඇති බවට චෝදනා කළේය.

‘පසුගිය වසර පනහක් තිස්සේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ජීවන අංකය ගැසට් කිරීම සිදු කලා. එහෙත් දැන් රජය එය ගැසට් කිරීම නතර කර තිබෙනවා.’’ යනුවෙන් කි හෙතෙම මේ තුලින් රජයේ සේවකයින්ට අසාධාරණයක් සිදු වන බවද කියා සිටියේය.

උද්ඝෝෂණය අවසානයේදී පෙළපාලියක් ද පැවති අතර මේ හේතුවෙන් පිටකොටුව ඕල්කොට් මාවතේ වාහන තදබදයක්ද හට ගෙන තිබුණි.