ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ජයලලිතා හමුවීමට සැරසෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ජයලලිතා හමුවීමට සැරසෙයි

August 12, 2014   08:46 am

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් හමුවීමට තමා බලාපොරොත්තු වන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සුදර්ශන් සෙනවිරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ දෙරට අතර පවතින ධීවර ගැටලුව පිළිබඳව ඇය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඉන්දියාවේ “නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්“ පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දියාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් සුදර්ශන් සෙනවිරත්න මහතා මෙම අදහස් පළ කළ තිබේ.

පසුගිය ජුලි මස 31 වන දින ඔහු සිය ධුරයේ වැඩ බාරගැනීමෙන් අනතුරුව පුවත්පතක් සමඟ පැවැත්වු පළමු සම්මුඛ සාකච්ඡාව මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

තමිල්නාඩු ප්‍රාන්තයේ අධ්‍යයන කටයුතු සිදුකළ පුද්ගලයෙකු ලෙස තමාට තමිල්නාඩු ජනතාව කිසිවිටකත් අමතක කළ නොහැකි බව සුදර්ශන් සෙනවිරත්න මහතා එම සම්මුඛ සාකච්ඡාවේ දී පවසා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කරගනිමින් සිය ධුරයේ කටයුතු කිරීම සිය අපේක්ෂාව බව ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනවිරත්න මහතා පවසා ඇත.