‘පද්ම සම්භව’ බෝසතුන් වෙනුවෙන් මහා පිළිමයක්

හිමාලය අඩවියේ භූතාන් රාජධානියේ ඉදි කෙරුණ පද්ම සම්භව බෝසත් පිළිමය තවත් මාස කීපයකින් නැරඹීමට මහජනතාවට අවස්ථාව ලැබෙයි.

මෙය දැනට ලෝකයේ විද්‍යමාන ලොකුම පද්ම සම්භව බෝසත් පිළිමය වන බවයි, එය ඉදි කළ නේපාල ජාතික කලාකරු රාජ්කුමාර් ශාක්‍ය පවසන්නේ.

‘පද්ම සම්භව’ යන්නෙහි තේරුම ‘නෙළුම් මලෙන් උපන්’යන්නයි.එම බෝසතුන් ටිබට් බෞද්ධයන් මහත් ආදරයෙන් සහ හරසරින් අදහන මුනිවරයෙකි.

තිම්පු අගනුවරින් කිලෝමීටර් පන්සීයක් පමණ ඈත ‘තකිලියා’ කන්දේ ඉදි කෙරුණ පද්ම සම්භව පිළිමය ලබන නොවැම්බර් මාසයේ මහජන ප්‍රදර්ශනයට විවෘත කළ හැකි බව රාජ්කුමාර් ශාක්‍ය පවසයි.

නෙළුම් මලෙන් උපන්

කලාකරු රාජ්කුමාර් ශාක්‍ය පිළිමය පාමුල

ඡායාරූප මූලාශ්‍රය, Raj Kumar Shakya

ඡායාරූප ශීර්ෂ වැකිය,

කලාකරු රාජ්කුමාර් ශාක්‍ය පිළිමය පාමුල

මෙතෙක් ඉදි කරනු ලැබ තිබුණ විශාලතම පද්ම සම්භව බෝසත් පිළිමය ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ දක්නට ලැබෙන අතර එහි උස අඩි 123 කි. අලුතින් ඉදි කෙරුණ භූතාන් පද්ම සම්භව පිළිමය උසින් අඩි 155 කි.

මහා පිළිමය ඉදි කරනු ලැබීමට නේපාල මුදලින් රුපියල් කෝටි පනහක් පමණ වැය කෙරුණ බවත් රාජ්කුමාර් ශාක්‍ය සඳහන් කරයි.

පිළිමය ඉදි කිරීමේ අදහස ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ කෙන්පෝ කාර්පෝ නම් භූතාන් ජාතික භික්ෂුව විසිනි.

‘තකිලියා’ කන්ද අවට බෞද්ධ විහාර ආරාම තනා නිම වීම අවසන් වූ විගස පිළිමය මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව සංවිධායකයෝ පවසති.