‘අගවිනිසුරු ඉවත් වීමෙන් නඩුව කල් යනවා’ - ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ
‘ගෝල්ඩන් කී’ නඩුව විභාග කිරීමට තමා සහභාගි නොවන බව අග විනිසුරු මොහාන් පීරිස් අද සඳුදා අධිකරණය ඉදිරියේ කියා සිටියේය.
ඉදිරිපත් වූ විරෝධතා පිළි ගනිමින් තමා එම පියවර ගන්නා බවයි අග විනිසුරු මොහාන් පිරිස් කියා සිටියේ.
සෙලින්කෝ රක්ෂණ සමාගමේ සේවකයින් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේ කරුණු දක්වමින් අග විනිසුරුවරයා මිට පෙර ‘සෙලාන්’ බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති නිසා ඔහු මෙම නඩුව විභාග කිරීම පිළිබඳ ව තමන් විරුද්ධ වන බව කියා සිටියේය.
ඒ අනුවයි අගවිනිසුරුවරයා නඩු විභාගයෙන් ඉවත් වීමේ තීන්දුව ගනු ලැබුණේ.
තැන්පත්කරුවන්ගේ විරෝධය
එහෙත් එම පියවර හේතුවෙන් නඩු විභාගය තවත් පමා වනු ඇතැයි පෙන්වා දුන් ‘ගෝල්ඩන් කී’ මුදල් අහිමි වූවන්ගේ සංගමයේ සභාපතිනිය වන දුෂාන්ති හපුගොඩ, එමගින් තැන්පත්කරුවන් දැඩි අපහසුතාවකට පත් වන බවයි කියා සිටියේ.
“අග විනිසුරුතුමාට නඩු විභාගයෙන් ඉවත් වෙන ලෙස කියා සිටින්නේ නඩුවට සම්බන්ධයක් නොමැති පාර්ශවයක්. තැන්පත්කරුවන් එම ඉල්ලීමට විරෝධය පළ කළා. එහෙත් අග විනිසුරුතුමා තමා නඩු විභාගයෙන් ඉවත් වන බව නිවේදනය කළා.’’ සභාපතිනිය බීබීසී සංදේශයට කියා සිටියාය.
ඒ අනුව පෙත්සම් විභාගය ලබන සැප්තැම්බර් මස පළමු වනදාට කල් දැමූ අධිකරණය එදින නව විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන බවයි දැනුම් දුන්නේ.
‘ගෝල්ඩන් කී’ මුදල් ගෙවන මෙන් අධිකරණ නියෝගයක්
'ගෝල්ඩන් කී' අහිමිවූවන්ගේ සංගමයේ සභාපතිනි දුෂාන්ති හපුගොඩ පවසන්නේ වංචා කරන ලද සමස්ත මුදල රුපියල් කෝටි 2600 කට ආසන්න බවයි.