ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් අමෙරිකාවේ කනස්සල්ල

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් අමෙරිකාවේ කනස්සල්ල

July 28, 2014   05:12 pm

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ලවී ඇති තර්ජන පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදය විසින් කනස්සල්ල පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී නිවේදනය පහත පරිදිය.

පසුගිය සති අන්තයේ ජනමාධ්‍ය පුහුණු වැඩසටහනක් අවලංගු කිරීමේ තත්ත්වය පිළිබඳ අමෙරිකාවේ දැඩි කනස්සල්ල පළකරන්නේය. යාපනයේ මාධ්‍යවේදීන් සඳහා අමෙරිකානු රජයේ මූල්‍යාධාර මගින් සංවිධානය කෙරුණු මෙය සංඛ්‍යංක ආරක්ෂාව පිළිබඳ පුහුණුව අවලංගුවීමෙන් අනතුරුව,සහභාගීවීමට පැමිණි අය සහ පුහුණුව අවලංගු කිරීම නිසා රජය විවේචනය කළ එක් මාධ්‍යවේදියෙකු ඇතුළු රට පුරා අනෙකුත් මාධ්‍යෙව්දින් තර්ජනය කිරීම් හා බියවැද්දීම්වලට ලක්වූහ.

මැයි මාසයේ සිට අද දක්වාම ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක කණ්ඩායම් විසින් පුහුණු වැඩසටහන් වලට සහභාගිවන අය තර්ජනයට ලක්වීම නිසා අවලංගුවුණු 3වන පුහුණු වැඩසටහන මෙය වන්නේය.පොලීසිය මෙම ස්ථානවල රැඳී සිට ඇතත් තර්ජනයට ලක්වුණු මාධ්‍යවේදීන්ට ආරක්ෂාව සපයා නැති අතර තර්ජනය කරන්නාවූ පිරිස්වලට එරෙහිව නිසි ක්‍රියාමාර්ගද ගෙන නැත.

11 හැවිරිදි දැරියක ලිංගික හිංසනයට ලක්වීම පිළිබඳ වූ යාපනයේ අධිකරණ කටයුතු ආවරණය කිරීමට ජූලි 25 වන දින එහි පැමිණි මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශ විසින් තර්ජන කිරීම පිළිබඳවද අපගේ දැඩි කනස්සල්ල පළකරන්නෙමු. මෙම දැරිය හිංසනයට ලක්කරන ලද්දේ කරෙයිනගර් නාවික හමුදා කඳවුරේ පිරිසක් මගින් යැයි කියැවෙන්නේය.

ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා රැස්වීමේ නිදහසට බාධා කරන්නන්ට දඬුවම් ලබානොදීමේ රටාවක් ඇති බව මෙම සිදුවීම්වලින් පිළිබිඹු වන්නේය. ශ්‍රී ලංකානු රජය සමගත් අමෙරිකාවේ පිහිටි ශ්‍රී ලංකානු තානාපති කාර්යාලය සමගත් අපගේ කනස්සල්ල පළකර ඇති අතර ජනමාධ්‍යවේදීන්ගේ සහ සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජය තරයේ ඉල්ලා සිටින්නෙමු.