පුංචි හපනුන්ට ජනප්‍රිය පාසල් හිමිකාරිත්වය අඩුවීමට එරෙහිව නඩුවක්

පුංචි හපනුන්ට ජනප්‍රිය පාසල් හිමිකාරිත්වය අඩුවීමට එරෙහිව නඩුවක්

July 24, 2014   06:57 am

දිවයිනේ පාසල් වලින් 05 වන ‍ශ්‍රේණියේ විභාගයට පෙනී සිට ඉන් වැඩිම ලකුණු ලබා ගන්නා දරුවන් ජනප්‍රිය පාසැල් වලට ඇතුළත් කර ගැනීම වාර්ෂිකව අඩුකරන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

දරුවන් 13 දෙනෙකු වෙනුවෙන් එම දරුවන්ගේ මව්පියන් සහ ලංකා ගුරු සංගමය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

1940 සිට මෙම ශිෂ්‍යත්ව විභාගය පවත්වන බවත්, එය ආරම්භ කරනු ලැබුවේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැළකෙන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා විසින් බවත්, එම සංකල්පයෙන් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වන අන්දමට පත්ව ඇති බවත්, අදාළ පෙත්සමේ දැක්වෙයි.

මේ වනවිට ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම ලකුණු ලබා ගන්නා ළමුන් ජනප්‍රිය පාසැල් වලට ඇතුළත් කර ගැනීම ඉතාම අඩු මට්ටමකට දමා ඇති හෙයින් ඊට එරෙහිව මෙම පෙත්සම ගොනු කරන බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

2 ශ්‍රේණියේ සිට 5ශ්‍රේණිය දක්වා ජනප්‍රිය පාසැල් වලින් නොයෙකුත් බලපෑම් මත දරුවන් ඇතුළත් කර ගන්නා නිසා ශිෂ්‍යත්ව ළමුන් ඇතුළත් කර ගැනිම අඩුකර ඇති බවත් එමගින් බුද්ධිමත් දරු පිරිසකට ජනප්‍රිය පාසැල් වල ඉගෙනීමේ අවස්ථාව අහිමිව ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමේ දැක්වෙයි.

මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන ඒ සදහා යම්කිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස පෙත්සම් කරුවන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ පෙත්සම අගෝස්තු මස 08 වන දින සළකා බැලීමට නියමිතය.