ඊජිප්තුවට යළිත් ඇමරිකානු ආධාර

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊජිප්තු නව ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසී හමු වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊජිප්තු නව ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසී හමු වෙයි

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මෝසි එම පදවියෙන් ඉවත් කිරීමත් සමග අත්හිටුවා තිබූ ඇමරිකානු ඩොලර් මිලියන භාගයක ආධාර නැවත ඊජිප්තුව වෙත ලබා දීමට ඇමරිකාව පියවර ගෙන තිබේ.

ඇමරිකාව මෙම පියවර ගනු ලැබුවේ එරට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊජිප්තු නව ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසී හමු වීමෙන් අනතුරුවයි.

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මෝසි බලයෙන් පහ කළ හිටපු හමුදාපතිවරයා, පසුගිය මාසයේ දී ජනාධිපතිවරණය සඳහා තරග කරණු ලැබීය.

හිටපු හමුදාපතිවරයා ඊජිප්තු ජනාධිපතිවරයා වශයෙන් තෝරා ගැනීමෙන් අනතුරුව, ඉහල පෙළේ ඇමරිකානු රාජ්‍ය නිලධාරියෙක් ඊජිප්තුවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ.

දේශපාලනය දෙසට වැඩි වශයෙන් නැඹුරු වී තහනම් කර ඇති මුස්ලිම් සහෝදරත්වය සමග සංවාදයකට පැමිණෙන ලෙස ජෝන් කෙරී රාජ්‍ය ලේකම්වරයා විසින් ඊජිප්තු ජනාධිපති අල් සිසී හට බල කෙරෙනු ඇති බවයි ඇමරිකානු බලධාරීන් පවසන්නේ.

මරණ දණ්ඩනයට නියම වූ මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයන් පිළිබඳ සාකච්ඡා කිරීම හා සිරගත කර සිටින මාධ්‍යවේදියන් නිදහස් කරන මෙන් ඊජිප්තු නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමත් හමුවේ එක් අරමුණක්.