අතුරුදහන් වූවන් ඉල්ලා මුලතිව්හි උද්ඝෝෂණ

  • දිනසේන රතුගමගේ
  • වවුනියාවේ සිට
පාර්ලිමේන්තු  මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, පළාත් සභා මන්ත්‍රී
 අනන්දී එලිලන් ඇතුළු උද්ඝෝෂණ කරුවන්
ඡායාරූප ශීර්ෂ වැකිය,

පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, පළාත් සභා මන්ත්‍රී අනන්දී එලිලන් ඇතුළු උද්ඝෝෂණ කරුවන්

යුද සමයේ දී අතුරුදහන් වූ පුද්ගලයින් සොයා දෙන ලෙස ඉල්ලමින් මුලතිව් බස් නැවතුම් පොල ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්විණි.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරෙෂ් ප්‍රේමචන්ද්‍රන්, උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලින්ගම් ඇතුලුව තවත් දෙමළ දේශපාලනඥයන් කීප දෙනෙක් ද උද්ඝෝෂණයේ නිරත වැසියන් සමග එක්වී සිටියෝය.

සුරෙෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ට අමතරව ජීවිත ආරක්ෂාව සහතික කර දෙන මෙන් ඉල්ලමින් යුද හමුදාවට බාර දුන් දෙමළ වැසියන් විශාල පිරිසක් යුද හමුදාව විසින් අතුරුදහන් කර ඇති බවයි.

මෙලෙස අතුරුදහන් වූ දෙමළ වැසියන් දොළොස් දෙනෙකු වෙනුවෙන් මුලතිව් අධිකරණයේ දී යුද හමුදාවට එරෙහිව නඩු දොළහක් විභාග වන අවස්ථාවේ දී මෙම උද්ඝෝෂණය පැවැත්වීම විශේෂ සිද්ධියකි.

76000 ක් අතුරුදහන්

උද්ඝෝෂණයට එක්වූ මුලතිව් ජනතාව
ඡායාරූප ශීර්ෂ වැකිය,

උද්ඝෝෂණයට එක්වූ මුලතිව් ජනතාව

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවජිලින්ගම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ අධිකරණය හමුවේ මීට සම්බන්ධ නඩු විභාග වෙමින් තිබුනද තමන් මෙම උද්ඝෝෂණය පවත්වණු ලබන්නේ අධිකරණයට එරෙහිව නොවන බවයි.

යුද්ධය හේතුවෙන් දෙමළ වැසියන් 76000 ක් පමණ අතුරුදහන් වී ඇතත් රජය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කොට නොමැති නිසා තමන්ට අතුරුදහන් වූ වැසියන් වෙණුවෙන් මෙසේ හඩ නැගීමට අයිතියක් ඇති බව එම්.කේ.ශිවාජිලින්ගම් මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.

මුලතිව් අධිකරණයට නීතිඥවරු නො පැමිණීම හේතුවෙන් යුද හමුදාවට එරෙහිව පණවා තිබූ නඩු දොළහ විභාගයට ගැනීම ලබන ජුලි මස විසි එක් වෙනිදා තෙක් මුලතිව් දිසා විනිසුරුවරයා විසින් කල් දමා තිබේ.