වැලිවේරිය ප්‍රහාරය වෙනුවෙන් 'උසස්වීමක්?'

  • අසාම් අමීන්
  • බීබීසී කොළඹ වාර්තාකරු
'ඒ අයගේ ආත්මයට සැනසීමක් වෙන්නවත් අඩුගානේ මේ පරීක්ෂණ ඉවරවෙනතුරුවත් මේ තනතුරුදීම් නවත්වන්න'
ඡායාරූප ශීර්ෂ වැකිය,

'ඒ අයගේ ආත්මයට සැනසීමක් වෙන්නවත් අඩුගානේ මේ පරීක්ෂණ ඉවරවෙනතුරුවත් මේ තනතුරුදීම් නවත්වන්න'

පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුනු වැලිවේරිය වාසීන්ට එල්ල කළ හමුදා ප්‍රහාරයට අණ දුන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුයුක්ත කිරීම මගින් රටට අයහපත් පූර්වාදර්ශයක් සපයා දී ඇති බවට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට චෝදනා කරයි.

වැලිවේරියේදී හමුදා වෙඩි පහරින් සහ පොලු පහරින් තිදෙනකු ඝාතනය කෙරුණු අතර තවත් ගැමියන් 37 දෙනකු තුවාල ලැබීය.

ආණ්ඩුව වෙනුවෙන් අහිංසක ජනතාව මර්දනය කරන නිලධාරීන්ට තනතුරු සහ වරප්‍රසාද ලබාදී ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියා දිරිගන්වන සුළු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවටද එජාප මන්ත්‍රී රන්ජන් රාමනායක ආණ්ඩුවට චෝදනා කරයි.

"මේක වැරදි පූර්වාදර්ශයක්. අහිංසක ජීවිත තුනක් නැතිවුණු මෙහෙයුමට අණදුන් පුද්ගලයාට උසස්වීමක් ලබාදීම. මීට පෙර හලාවත ධීවර ඝාතනයට අණදුන් පොලිස්පතිවරයාටත් තානාපති පත්වීමක් ලබාදුන්නා," යනුවෙන්ද මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය.

'ආත්මය කෑගහනවා ඇති'

බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනට මෙවන් උසස්වීමක් ලබාදීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ඉදිරියටත් ජනතාව මර්ධනය කිරීමට හමුදා නිලධාරීන් පෙළඹවීම බවද මන්ත්‍රීවරයා පවසයි.

'අපිට තව ටිකකින් අහන්න ලැබේවි වැලිවේරිය මියගිය අය ඒ අයටම වෙඩි තියාගත්තා කියලා'

ඡායාරූප මූලාශ්‍රය, parliament.lk

ඡායාරූප ශීර්ෂ වැකිය,

'අපිට තව ටිකකින් අහන්න ලැබේවි වැලිවේරිය මියගිය අය ඒ අයටම වෙඩි තියාගත්තා කියලා'

"වැලිවේරියෙදි මියගිය ඒ අහිංසකයන් තිදෙනාගේ ආත්මය අද කෑගහනවා ඇති, අපිව මරන්න අණදුන් අය අද තානාපතිධුර, උසස්වීම් ලබනවා කියලා. මම ඉල්ලනවා ඒ අයගේ ආත්මයට සැනසීමක් වෙන්නවත් අඩුගානේ මේ පරීක්ෂණ ඉවරවෙනතුරුවත් මේ තනතුරුදීම් සහ ප්‍රශංසා කිරීම නවත්වන්න."

වැලිවේරිය ප්‍රහාරයේදී මියගිය අය විසින්ම ඔවුන්ට වෙඩි තබාගත් බවට වාර්තාවක් නිකුත් වුවත් ඊට පුදුම විය යුතු නැති බවද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සංදේශයට පැවසීය.

"වැලිකඩ සිදුවූ ඝාතනවලදී ආණ්ඩුව කිව්වේ සිරකරුවන්ම ඔවුන්ට වෙඩි තියාගත්තා කියලනේ? ඒවගේම අපිට තව ටිකකින් අහන්න ලැබේවි වැලිවේරිය මියගිය අය ඒ අයටම වෙඩි තියාගත්තා කියලා."

වැලිවේරියේ ජල ප්‍රශ්නය තේමා කොට තමා නිපදවා ඇති චිත්‍රපටයට "රතුපස්වල" යන නම පවා යෙදීමට ආණ්ඩුව ඉඩ ලබා නොදුන් බව පවසන මන්ත්‍රීවරයා, එවන් තත්වයක් යටතේ එම ප්‍රහාරයට සෘජුව වගකිවයුතු පුද්ගලයෙකුට උසස් වීමක් ලබාදීම සාධාරණය අගයන කිසිවකුත් අනුමත නොකරන බවද පවසයි.

'උසස්වීමක් නොවේ'

බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන එවකට අණ දුන් 142 වැනි බළ සේනාධිපති පදවියෙන්ද ඉවත්කිරීමට කටයුතු කළ යුද හමුදාව, ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ අවසාන වීමට ප්‍රථම ඔහු තානාපති කාර්යාලයකට අනුයුක්ත කිරීම පිළිබඳව සංදේශය හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරියගෙන් විමසීමක් කළේය.

'ඔහු මේ සිද්ධියට වගකිවයුතු බවට කිසිදු උසාවියකින් චෝදනා ලබා නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, pccsl.lk

ඡායාරූප ශීර්ෂ වැකිය,

'ඔහු මේ සිද්ධියට වගකිවයුතු බවට කිසිදු උසාවියකින් චෝදනා ලබා නැහැ'

"ඔහු මේ සිද්ධියට වගකිවයුතු බවට කිසිදු උසාවියකින් චෝදනා ලබා නැහැ. යුද හමුදාව ඔහු දැරූ තනතුරුවලින් ඒ අවස්ථාවේදී ඉවත්කළේ යුද හමුදා මූලික පරීක්ෂණ උසාවිය විසින් නිර්දේශ කළ පරිදි සාක්ෂි සම්පිණ්ඩන වාර්තා සකස්කරන්න පහසුවන අන්දමින්. ඒක සාමාන්‍ය සම්ප්‍රදායක්," බවයි හමුදා ප්‍රකාශකවරයා පවසන්නේ.

වැලිවේරිය ප්‍රහාරය වෙනුවෙන් ඔහුට උසස්වීමක් ලබා දී ඇති බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන හමුදා ප්‍රකාශකවරයා, එය හුදෙක් බ්‍රිගේඩියර් ගුණවර්ධන යුද සමයේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන කරන ලද පත්වීමක් බවද සඳහන් කළේය.

වැලිවේරිය ප්‍රහාරයට අදාලව ගම්පහ උසාවියේදී විභාග වන නඩුවේ චුදිතයෙකු ලෙස බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන නම් කෙරුණහොත් ඔහු වහාම ශ්‍රී ලංකාවට කැඳවන බවද බ්‍රිගේඩියර් වනිගසූරිය වැඩිදුරටත් පැවසීය.