ශ්‍රී ලංකා පිලට දැවැන්ත ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 157 ක ජයග්‍රහණය එංගලන්ත පිලකට එංගලන්තයේදී අත්වූ දරුණුම එක් දින පරාජයයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 157 ක ජයග්‍රහණය එංගලන්ත පිලකට එංගලන්තයේදී අත්වූ දරුණුම එක් දින පරාජයයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වුණු දෙවැනි එක් දින ඕවර තරඟයෙන් ශ්‍රී ලංකාව එංගලන්තය පරාජය කොට දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළේය.

නියමිත පන්දු ඕවර පනහ අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු අටක් දැවී ලකුණු 256 ක් රැස් කළ අතර, එයට ප්‍රතිචාර වශයෙන් එංගලන්ත කණ්ඩායම රැස් කිරීමට සමත් වූයේ ලකුණු 99 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 157 ක ජයග්‍රහණය එංගලන්ත පිලකට එංගලන්තයේදී අත්වූ දරුණුම සීමිත ඕවර තරඟ පරාජයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ශාන් ලකුණු 88 ක් රැස් කළ අතර, නුවන් කුලසේකර ලකුණු 15 කට කඩුලු තුනක් දවා ගැනීම සහ සචිත්‍ර සේනානායක ලකුණු 13 කට කඩුලු තුනක් දවා ගැනීම කැපී පෙනුනි.

ඒ සමඟම තරඟ පහකින් සමන්විත තරඟාවලියේ තරඟ එක බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කොට තිබේ.

ආබාධයක් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටර් කුක් තරඟයෙන් ඉවත්වීම හේතුවෙන් කණ්ඩායමට නායකත්වය දුන්නේ ඉයන් මෝගන් විසින්. ඉරිදා තරඟයේදී ලකුණු 40 ක් ලබා ගනිමින් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළේ ඔහුයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රෆාර්ඩ් ක්‍රීඩාංගනයේදී ලබන බදාදා තුන් වැනි එක් දින ඕවර තරඟයට සහභාගි වීමට නියමිතයි.